විවිධ හේතූන් මත අත්අඩංගුවට ගෙන සෞදි අරාබියේ රියාද්හි කඳවුරක රඳවාගෙන සිටින බව කියන ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් 41 දෙනා හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
මේ පිළිබඳ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනකු සිංහල අලුත් අවුරුදු දිනයේ එම රැදවුම් කදවුරේ ප්‍රධාන නිලධාරියා හමුවී සාකච්ඡා කර තිබේ.
ඊට සෞදි බලධාරීන් කැමැත්ත පළ කර ඇතැයිද වාර්තා වේ.
ඒ අනුව මුල් අදියර ලෙස ඔවුන්ගෙන් කිහිපදෙනකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ගුවන් ටිකට් පත් වෙන් කරවා මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය.
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 41දෙනකු පමණ දීර්ඝ කාලයක් තිස්සේ සෞදි අරාබියේ රියාද්හි අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින බව ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය පසුගිය දා වාර්තාවක් නිකුත් කර තිබුණි.
එරට ක්‍රියාත්මක ගෘහසේවක අනුග්‍රාහක ක්‍රමවේදයේ ඇති පීඩාකාරී බව නිසාම මේ වන විට සෞදි අරාබි රජය විසින් මෙම ක්‍රමය ක්‍රමානුකූලව වෙනස් කරමින් සිටී.
මෙලෙස රඳවාගෙන සිටින ගෘහ සේවිකාවන් 41 දෙනා ගෙන් 20 ක් සිය සේවා ස්ථාන වලින් පළා ගිය අයයි.
තවත් 3 දෙනෙකු සිගමන් යැදීම නිසා අත්අඩංගුවට පත්විය.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසරකට ආසන්න කාලයක් සෞදි අරාබියේ ගුවන් සේවාවන් හි මෙහෙයුම් කටයුතු සිදු වූයේ නැත.