රටම කම්පාකළ අටලුගම 09 හැවරදි දැරියගේ ඝාතකයා ඇගේ නිවසට නිතර එන යන අයෙක් බවට සැකයක් මේ වන විට හටගෙන තිබේ.
සැකයට ලක්වන පුද්ගලයාව මේ වන විට පොලීසිය හදුනාගෙන ඇති අතර දැරිවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද දවසේ සිදු කිරීමෙන් පසු බොහෝ විට එම සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වනු ඇත.
එකී සැකයට ලක්වන පුද්ගලයා දැරිවිය පදිංචි නිවස ආසනන්නයේ නිවසක පදිංචි අයෙකි.
දැරිවිය අතුරුදන් වූ දින ඇය වෙළද සැළට ගොස් මස් රැගෙන එන අතරතුර ඔහු අතුරු මාර්ගයේ රැදී සිට ඇති බව පොලීසිය විශ්වාස කරයි.
මෙම දැරිවිය එම අතුරු මාර්ගයේ රැදී සිටියදී ප්‍රදේශවාසී කාන්තාවක් දැක ඇය එසේ තනිවම මාර්ගයේ රැදී සිටින්නේ ඇයිදැයි විමසා ඇති බවද පොලීසියට තොරතුරු ලැබී ඇත. එහිදී එම දැරිවිය පවසා ඇතැයි සඳහන් වන්නේ සීයා පැමිණෙන තුරු රැදී සිටින බවය.
ඇයට අපරාධය සිදුව ඇත්තේ අනතුරුව බවත් ඇයව දූෂණයකර ඇති බවත් පොලීසිය සැකකරයි. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඒබව තහවුරුකර ගැනීමට හැකිවනු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම අපරාධය ගැන විමර්ශන පවත්වන ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුටද නියෝගයක් නිකුත් කරනු ලැබීය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක්ද අටලුගමට ගොස් විමර්ශන ආරම්භකරනු ලැබීය. පොලිස් තොරතුරු මගින් දැනගන්නට ඇති ආකාරයට අනුව මෙම අපරාධයේ සැඟවුණු තොරතුරු හෙළිකර ගනිමින් එය විදීමට සමත්වෙමින් ඇත්තේ බණ්ඩාරගම පොලීසියයි.