මුල් පිටුව උණුසුම් පුවත් නාරම්මල කවලම් පෙට්‍රල් බවුසරය යළි කොළඹට -ගාල්ලේ පිරවුම්හලක් වසාදමයි

නාරම්මල කවලම් පෙට්‍රල් බවුසරය යළි කොළඹට -ගාල්ලේ පිරවුම්හලක් වසාදමයි

0

ප්‍රමිතිය පිළිබඳ ගැටලු මතුවූ නාරම්මල ප්‍රදේශයේ ඉන්ධන බවුසරය වැඩිදුර විමර්ශන සඳහා කොළොන්නාවට රැගෙනවිත් තිබේ.

එහි සාම්පල රසායනාගාර පරීක්ෂණ සඳහා දැනටමත් යවා ඇතැයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

එම සංස්ථාව මේ බව කියාසිටියේ නාරම්මලදී ඉන්ධන පිරවුම්හලක බවුසරයක් ‍ගොඩබෑමට පෙර තත්ත්වය පරීක්ෂා කිරීමේදී පිරවුම්හල් සේවකයින්ට මතුවූ ගැටලු හේතුවෙන් එය ප්‍රතික්ෂේප කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් පිළිබඳ කළ සොයාබැලීමේදී ය.

ඔක්ටේන් 92 පෙට්‍රල් රැගත් මෙම බවුසරය නාරම්මල මෙන්ම දඹදෙණිය පිරවුම්හලකටද යවා තිබුණ ද දඹදෙණියෙන් මෙවැනි ගැටලුවක් වාර්තා නොවූ බව එම සංස්ථාව පවසයි.

ඉන්ධන ගබඩා පර්යන්තයේ සිටම සෑම තොගයක් නිකුත් කිරීමේදී සිට පිරවුම්හලේ ගොඩබෑම දක්වා වන ක්‍රියාවලිය තුළ සෑම අවස්ථාවකදීම ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් දැනට ක්‍රියාත්මක වේ.

කෙසේවෙතත් මෙම ක්‍රියාවලිය අතරතුර බවුසර් සේවකයන් විසින්ද බවුසරයට ඉන්ධන ලබාගැනීමේදී තත්ත්ව පරීක්ෂාවක් සිදුකළ යුතු අතර මෙම බවුසරය ලබාගත් මුතුරාජවෙලින් පිටත්වීමට පෙර ඉන්ධන ප්‍රමිතියට ඇති බවට බවුසර් සේවකයන් සහතික කර ඇතැයි ද ‍විමර්ශනයේදී හෙළිවී තිබේ.

මේ අතර ගාල්ලේ පිරවුම්හලක් පිළිබඳව ද චෝදනා එල්ල වීමත් සමඟ කළ සොයාබැලීමේදි අනාවරණය වී ඇත්තේ කළමනාකාරීත්වය විසින් තොග ගබඩා කිරීමේ මාර්ගෝපදේශ අනුගමනය කර නොමැති බව ය.

මූලික විමර්ශනවලින් මේ බව පෙනී යාමෙන් පසු ගාල්ල ඉන්ධන පිරවුම්හල වසා දමා දැමීමට පියවර ගත් බව ද එම සංස්ථාව පවසයි.

ඉන්ධන ප්‍රමිති ගැටලුවලට අදාළ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

කෙසේවෙතත් ඉන්ධන පිළිබඳ ගැටලු ඇතොත් ඒ පිළිබඳ 0115 234 234 හෝ 0115 455 130 යන අංක වෙත යොමුකරන ලෙස ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ජනතාවට දන්වා සිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version