මුල් පිටුව උණුසුම් පුවත් හමුදාව ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට හවුල් නොවන බවට නිවේදනයක්

හමුදාව ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට හවුල් නොවන බවට නිවේදනයක්

0

දිවයින පුරා කැපවීමෙන් සේවය කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින්ට අපහාස කිරීමේ සහ හමුදාව අපකීර්තියට පත්කිරීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් මහජනතාව නොමඟ යවමින් සිදුකරනු ලබන පදනම් විරහිත චෝදනා සහ උසිගැන්වීමේ උත්සාහයන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අවධානයට ලක්ව ඇති බව ‍යුද හමුදාව නිවේදනය කරයි.

අදාළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

පසුගිය දින කිහිපය තුළ නිරීක්‍ෂණය වූ පරිදි තමන්ටම ආවේනික වූ න්‍යායපත්‍රවලට අනුකූලව විවිධ කණ්ඩායම් විසින් යුද්ධ හමුදා භටපිරිස් අපකීර්තියට පත්කිරීමේ අරමුණින් යුද්ධ හමුදාව ‘ප්‍රචණ්ඩත්වය ඇතිකිරීමට සූදානම් වන බවටත්, පහරදීමකට පෙර පුහුණුව ලබමින් සිටින’ බවටත් සම්පූර්ණ අසත්‍ය හා පදනම් විරහිත ප්‍රචාරයන් සිදුකරමින් සිටියි. කිසිදු යුද්ධ හමුදා සාමාජිකයෙකු එවැනි ක්‍රියාකාරකමක් වෙනුවෙන් සම්බන්ධ වී නොමැති අතර මෙවැනි ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය සහ ද්වේශසහගත ඒවා වේ.

සයිබර් අවකාශයේ බහුල වශයෙන් සංසරණය වන මෙවැනි ද්වේශසහගත ප්‍රචාරයන් අතර ‘යුද්ධ හමුදා රෝහලක සිදුවී ඇතැයි පැවසෙන දූෂණයක්’ පිළිබඳව ද කතා කරනු ලබන අතර, මෙවැනි අසත්‍ය වාර්තාවන් යුද්ධ හමුදාවේ ව්‍යුහගත සහ මනාව ගිවිසූ හමුදා උපදේශක මණ්ඩල හෝ ස්ථාපිත ටෙන්ඩර් පටිපාටිය වැනි දේ පිළිබඳව මූලික දැනුමක් හෝ නොමැති අයවළුන් විසින් පළකරනු ලබන වාර්තා බව පෙන්වාදෙන අතර මෙවැනි අසත්‍ය සහ ද්වේශසහගත වාර්තා යුද්ධ හමුදාව තරයේ ප්‍රතික්‍ෂේප කරයි.

පසුගිය දින කිහිපයේදී පැහැදිලිව විද්‍යාමාන වූ පරිදි හමුදා සාමාජිකයන් සාමකාමී විරෝධතාකරුවන් හෝ එකී සංවිධාන සමඟ කිනම් හෝ මැදිහත්වීමකින් තොරව සිය රාජකාරීවල නිරතව සිටිනුයේ රාජ්‍ය සහ මහජන ආරක්‍ෂාව සඳහා වන අතර මෙම භටපිරිස් සිය ජීවිත පරදුවට තබා අප්‍රමාණ කැපකිරීම් කරමින් රටට සාමය ලබාදුන් සාමාජිකයන් වන බව ද සිහිපත් කිරීම වටී.

යුද්ධ හමුදාව අපකීර්තියට පත්කිරීම අරභයා ප්‍රචලිත කරනු ලබන මෙම සූක්‍ෂම උත්සාහයන් යුද්ධ හමුදාව විසින් තරයේ ප්‍රතික්‍ෂේප කරන අතර විචක්‍ෂණ බුද්ධියෙන් පරිණත හා වගකිවයුතු පුරවැසියන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනුයේ අතීතයේදී යුද්ධ හමුදාව කෙරෙහි ඔබ තැබූ විශ්වාසය තවදුරටත් රකිනා ලෙසය. එමෙන්ම, වෘත්තීය නිපුනත්වයෙන් හා පුහුණුවෙන් සන්නද්ධ භටපිරිස් වර්තමානයේ ඕනෑම ආරක්‍ෂක අභියෝගයක් භාරගැනීමට සූදානම් අතර දැනට පවතින තත්ත්වයේදී පොලීසිය විසින් කැඳවීමක් කළහොත් පමණක් පොලිසියට සහය වීම සඳහා ඉදිරිපත් වන බව ද යුද්ධ හමුදාව පෙන්වා දේ.

එමෙන්ම, යුද්ධ හමුදා දෛනික චර්යාවේ හා පිළිවෙත්වල අනිවාර්ය අංගයක් වූ යුද්ධ හමුදා පුහුණු සැසිවාරයන් සියළුම යුද්ධ හමුදා කඳවුරු තුළ නිරන්තරයෙන් පැවැත්වෙන අතර එම පුහුණුවීම් පිළිබඳ විවිධ මතිමතාන්තර දරණ අය අසත්‍ය ප්‍රචාරයන් සිදුකළ ද එම පුහුණුවීම් ප්‍රචන්ඩත්වය සඳහා වන පුහුණුවීම් නොවන අතර සාමාන්‍ය යුද්ධ හමුදා පුහුණුවීම් පිළිවෙත්හී අංගයක් පමණක් බව මෙහිලා අවධානයෙන් සඳහන් කළ යුතුව ඇත.

මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් හා සූක්‍ෂම උපක්‍රම හේතුවෙන් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙසත් වැරදි අවබෝධයන් ඇතිකර නොගන්නා ලෙසත් සියළු මහජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රාජ්‍යයේ හා එහි ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් ක්‍රියාකිරීමට බැඳීසිටින බව තහවුරු කරනු ලැබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version