අද කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුවේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු අග්‍රාමාත්‍ය, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සමාව අයැද තිබේ.
සමුළුව අමතමින් කබ්රාල් මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳව දේශපාලන පක්ෂ දැනුවත් කර ඇති අතර වත්මන් ඩොලර් අර්බුදයට හිටපු රජය වගකිවයුතුය යන්න හැඟවෙන ප්‍රකාශයක් කර ඇත.
එහිදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ (එජාප) නායක රනිල් වික්‍රමසිංහ මහතා එම ප්‍රකාශයට විරෝධය පළ කළ අතර සමුළුවේදී දේශපාලනය කතා කිරීම ගැන මහබැංකු අධිපතිවරයාට දැඩි ලෙස දොස් පැවරීය.
ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම සමුළුව කැඳවා ඇති බව ප්‍රකාශ කළ හිටපු අග්‍රාමාත්‍යවරයා මෙය දෝෂාරෝපණය කිරීමට සුදුසු තැනක් නොවන බවද ප්‍රකාශ කළේය.
“මම ඵක කරුණක් පැහැදිලි කරන්නම්. මේ සම්මේලනය පවත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම උඩ ඔබතුමා (ජනපති) කැඳවලා. මට විශේෂයෙන්ම නිමල් සිරිපාල ඇමතිතුමා මුණගැහිලා කිව්වා සමුළුවට එන්න කියලා, පරණ යාලුකමටවත් එන්න කියලා. මම හිතුවා මේක වැදගත් එකක් කියලා. අපි මෙතෙන්ට ආවේ මේ රටේ තියෙන උග්‍ර ප්‍රශ්නය නිසා. මෙතනදී අපි ආවේ නැහැ ආපහු පක්‍ෂ දේශපාලනයට, කවුද වගකියන්නේ? කියන ඵ්වා ගැන කතා කරන්න. මහ බැංකු අධිපතිතුමා කිව්ව හැටියට අර පටු දේශපාලනයට ආවේ නැහැ. ඒත් මම කණගාටු වෙනවා, එතුමා පටන්ගන්තේම ගිය ආණ්ඩුවේ වැරැද්දක් කියලා. මම ඒකට පිළිතුර දුන්නොත් එතකොට මොකද්ද වෙන්නේ. ඊළඟටත් පිළිතුරු දෙනවාද? අන්තිමට ඉවර වෙන්නේ විජය රජ්ජුරුවෝගෙන් නේ. එයා ලංකාවට ආවේ නැත්නම් මේ ප්‍රශ්න එන්නේ නැහැ කියයි. ඕකයි වෙන්නේ.
මොනවටද අපි එතනට යන්නේ. මම මේ ගැන කියන්නේ ඒක කාරණයක් විතරයි. අපිට වෙන ප්‍රතිපත්තියක් තිබුණේ. ඒ කාලේ මිනිස්සුන්ට කන්න නිබුණා. බොන්න තිබුණා. පෙට්‍රල් තිබුණා. (සිනාසෙමින්) මම ඊට වඩා කියන්න යන්නේ නැහැ. තව එකක් නියෙනවා. අද මෙතනට විපක්ෂයේ කොටසක් ඇවිත් නෑ. මම ආවේ එයාලව පරාජය කරන්න නෙමෙයි. මෙතනට ඇවිත් අදහස් ප්‍රකාශ කරලා. ඒවා ගිහින් කියලා ඒ අයව සම්බන්ධ කරගන්න. අපි මේවායෙන් තොරව ඒ ප්‍රශ්න ගැන කතා කරමු.”
එම අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, රනිල් වික්‍රමසිංහ මහතාට මෙලෙස පැවසීය.
“ඔබතුමාගේ හිත රිදුණානම් මම ඒකට සමාව ඉල්ලනවා. මම හිතන්නේ අර ක්‍රමවේදය එනකොට ඒ අවුරුදු ගාන නිසා තමයි එතුමා ඒක දැක්වුයේ. එහෙම නැතුව කිසිම කෙනෙකුට චෝදනා නඟන්නට නෙමෙයි. මම ඒකයි මුලින්ම කිව්වේ මේක දේශපාලනික කාරණයක් නෙමෙයි. අවංකවම ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට සෑම කෙනෙකුගේම අදහස් ගන්න කියලා තමයි මේ විදියට අපි කැඳව්වේ කියලා.”
මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් රජයට ඉදිරිපත් කරන ලද කෙටුම්පත් ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කිරීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද සර්ව පාක්ෂික සමුළුවේදී ප්‍රතික්ෂේප කර තිබේ.
මූල්‍ය අරමුදලේ කෙටුම්පත් වාර්තාවෙන් කොටසක් පමණක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවත් සම්පූර්ණ වාර්තාව ලැබී නොමැති බවත් මුදල් අමාත්‍යවරයා පවසා ඇත.
ඊට සුදුසු වෙනස්කම් යෝජනා කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් මුදල් අමාත්‍යවරයා පවසා ඇත.
එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බවත් අවසන් වාර්තාව පමණක් ප්‍රසිද්ධියට පත් කරන බවත් ඔහු පැවසීය.
මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මේ පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම සමුළුවේදී උදය ගම්මන්පිළ, විමල් වීරවංශ ඇතුළු ආණ්ඩුවේ පිරිසක් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද ප්‍ර්‍රකාශනය සභාවට පෙන්වමින් මෙසේ ද කීය. “පක්ෂ කීපයයක් මුළු රටම හරි මඟට කියලා මේ ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා තිබුණා. මේක ඉදිරිපත් කරපු අය මහමඟට වැටිලා තියෙනවා. ඒ වුණත් මේකෙ තියෙන සමහර කරුණු රජය දැනටමත් ක්‍රියාත්මක කර ඇති ඒවා. බොහොමයක් කරුණු අයිඑම්එෆ් එකේ කරුණු. ඒ නිසා මම හිතනවා අපිට ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා” යැයි ද කීය.
මෙම සමුළුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක් සහභාගි වී තිබුණ ද විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය ඇතුළු පක්ෂ කිහිපයක් සහභාගි වී නොතිබිණි.