මුල් පිටුව උණුසුම් පුවත් හම්බන්තොට වරාය 2022 ‘ඉදිකිරීමේ වසර’ ලෙස නම්කරයි

හම්බන්තොට වරාය 2022 ‘ඉදිකිරීමේ වසර’ ලෙස නම්කරයි

0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කර්මාන්ත උද්‍යානයට පිවිසි නොයෙකුත් ව්‍යාපෘතීන්ගේ ඉදිකිරීම් කටයුතු විවිධ අදියරයන්හි පවතින හෙයින්, 2022 වසර ‘ඉදිකිරීමේ වසර’ ලෙස වරාය ප්‍රකාශ කොට ඇත.

මෙම වසර අවසානයේදී ඉදිකිරීම් කටයුතු නිම කර උද්‍යානයේ පළමු අදියර ආරම්භ කිරීම හම්බන්තොට වරාය සමූහයෙහි (HIP) අරමුණයි.

දැනට ඉදිවෙමින් පවතින ප්‍රධාන ව්‍යාපෘති තුනේ සියලුම අංග වේගවත් කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන්නේ, වරායේ අධිවේගී ඵලදායිතා සංකල්පය වන ‘HIP Speed’ තුළිනි. වාර්තාගත වේගයකින් ආරම්භ වූ ටයර් නිෂ්පාදන කම්හල, සුඛෝපභෝගී මුහුදු යාත්‍රා නිපදවීමේ අංගනය, සහ ප්ලග් ඇන්ඩ් ප්ලේ, පාර්ක් ඉන් පාර්ක් පහසුකම මගින් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 373ක සෘජු විදේශ ආයෝජන ගෙන දෙයි.

HIP Speedහි නිර්මාතෘ, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී
ජොන්සන් ලියු මහතා පවසන්නේ, 2022 ‘ඉදිකිරීමේ වසර’ ලෙස ප්‍රකාශ කිරීමට හේතුව නම් මෙම දොලොස් මස තුළ තම අවධානය ප්‍රධාන වශයෙන් යොමුව තිබෙන්නේ කර්මාන්තපුරයේ පළමු අදියර සහ ඊට අනුබද්ධ අංශ ඉදිකිරීම් අවසන් කිරීම සඳහා බැවිනි. “මෙයින් අප අදහස් කරන්නේ, ඉදිරියේදී නව ව්‍යාපෘතීන් සදහා ඉදිකිරීම් සිදු නොකරන බව නොව, එහෙත් මෙම අවස්ථාවේ වැදගත්ම මෙහෙය වන්නේ අප බහුකාර්ය වරාය ශක්තිමත්ව පදනම් කිරීමයි. ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු වරායකට හිමි නොවන කර්මාන්ත උද්‍යානයක් HIP සතු වන හෙයින් අපගේ අලෙවිකරණ කටයුතු තුළ එය විශේෂ අංගයක් ලෙස ප්‍රවර්ධනය කරනවා මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශයන්ටද ආයෝජන ආකර්ශනය කර ගැනීමට බලාපොරොත්තු වනවා. අපගේ අරමුණ, HIP පමණක් නොව, ශ්‍රී ලංකාවේ දකුණු පළාතද සැහැල්ලු, බහුකාර්ය සහ බර කර්මාන්ත ආයෝජන සඳහා විශේෂයෙන් ස්ථානගත කිරීමයි. රට අභ්‍යන්තරයට ප්‍රවේශ වීමේ දොරටුව වන හම්බන්තොට වරාය, ආයෝජකයින්ට අමතර වාසියක් වනු ඇති බව නොඅනුමානයි.”

දැනට ඉදි වන කර්මාන්තයන්හි වේගවත් නිමාව, ප්‍රබල අවශ්‍යතාවයක්ව පවතින්නේ අදාළ ව්‍යාපෘති යථාර්ථයට පත් වීම සඳහා පමණක් නොව, කර්මාන්ත උද්‍යානයේ අනෙකුත් ආයෝජනද කඩිනම් කිරීමට බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පවසයි. වරාය ආයෝජන සේවා අංශය පවසන්නේ, නව විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමේ උත්ප්‍රේරකයක් ලෙසද මෙය ක්‍රියා කරනු ඇති බවයි. දැනට ගොඩනැගෙන ව්‍යාපෘතීන්ට අමතරව හම්බන්තොට සමුද්‍රීය මධ්‍යස්ථානය සහ කර්මාන්ත උද්‍යානය වෙනුවෙන් උප බදු ගිවිසුම් 40කට පමණ HIP මේ වන විට අත්සන් තබා ඇත. ආයෝජකයින් හට දේශීය තත්වයන් අවබෝධ කර දීමට සහ තම මෙහෙයුම් ඉක්මන් කිරීම මෙන්ම ඉදිකිරීම් බාධක ඉවත් කිරීම සඳහා ‘HIP Speed’ සංකල්පය දායක වනු ඇත. අමුද්‍රව්‍ය සහ නිමි භාණ්ඩ අපනයන කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය බහාලුම් අංගනයක් පිහිටුවීම ඇතුළු වරායේ අනෙකුත් මෙහෙයුම් හා සාමාන්තරව කර්මාන්තපුරයේ වැඩකටයුතු සිදු වෙමින් පවතී.

ඉදිවෙමින් පවතින ව්‍යාපෘති අතරට ඇතුළත් වන සී හෝර්ස් යොට්ස් (SeaHorse Yachts) පුද්ගලික සමාගමේ ඇමෙරිකානු ඩොලර් මිලියන 58ක සුඛෝපභෝගී මුහුදු යාත්‍රා නිපදවීමේ අංගනය, මෙවසර අප්‍රේල් මාසයේ බිම් සකස් කිරීම නිම කොට වසර මැද භාගය වන විට ඉදිකිරීම් ආරම්භ කරනු ඇත. ෂෙන්ෂෙන් ෂින්ජි සමූහයේ (Shenzhen Xinji Group) ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක් වටිනා ප්ලග් සහ ප්ලේ පාර්ක්-ඉන්-පාර්ක් (plug and play, park in park facility) පහසුකම, දැනට මුල් අදියරේ පවතින අතර, එය දකුණු ආසියාවේ නව වෙළෙඳපොල සොයා ශ්‍රී ලංකාව තුළ කර්මාන්ත පිහිටුවීමට බලාපොරොත්තු වන සැහැල්ලු කර්මාන්ත නිෂ්පාදකයින්ට රුකුලක් වනු ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 300ක් වටිනා ෂැන්ඩොන්ග් හවෝහුවා (Shandong Haohua) සමාගමේ ටයර් නිෂ්පාදන කම්හල මෙම වසරේ දෙවන සහ තෙවන කාර්තු අතර ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතය. අදියර 2 කින් ඉදිකෙරෙන මෙම කර්මාන්තශාලාවේ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව බහාලුම් ඒකක 20,000 කි.

මෙම ව්‍යාපෘති නියමිත කාලසීමාව තුළ තම කම්හල් ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන අතර HIP Speed එම අපේක්ෂාවන් සපුරාලීමේ මූලික සාධකයක් ලෙස ක්‍රියා කරනු ඇත. නිෂ්පාදන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ ඔවුන්ගේ ආයෝජන සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය වරාය ක්‍රියාකරු, රාජ්‍ය සංවිධාන සමඟ එක්ව ලබා දෙන අතර, එමඟින් මෙම ව්‍යපෘතීන්ට හැකි පළමු අවස්ථාවේදීම රටේ අපනයන ආර්ථිකයට එලැඹීමේ අවස්ථාව උදා කර දෙයි.

සිය කර්මාන්ත උද්‍යානය ලොව පුරා විවිධ අංශයන් හට ප්‍රවර්ධනය කිරීමේ ප්‍රයන්තයක යෙදී සිටින හම්බන්තොට ජාත්‍යන්තර වරායේ අරමුණ වන්නේ මෙරට ජාත්‍යන්තර ආයෝජක ප්‍රජාවක් බිහි කිරීමයි. ශ්‍රී ලංකාව, එක්සත් රාජධානිය, ජපානය, චීනය, සිංගප්පූරුව සහ මාලදිවයින යන රටවල ආයෝජකයින් දැනටමත් ව්‍යාපෘති සිදුකිරීමට අපේක්ෂාවෙන් සිටින අතර, ගබඩා සහ සැපයුම්, ගෘහ උපකරණ, බලශක්ති සහ අනෙකුත් විවිධ අංශවල ව්‍යාපෘතීන් ඉදිරි කාලයේ විවෘත කිරීමට වරාය සුදානම්ව සිටී.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version