දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් කරයි.
ක්ෂේත්‍ර රැසක මහා පරිමාණ ව්‍යවසායකයින් සමඟ අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
සංවර්ධන ක්‍රියාවලිය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීමේ අරමුණින් සාකච්ඡාව කැඳවා තිබිණ.
විදේශ විනිමය උත්පාදනය, රාජ්‍ය මුදල් ප්‍රතිපත්තිය, විදේශ රැකියා ප්‍රවර්ධනය, ආයෝජන දිරිගැන්වීම, අපනයන ඉහළ නැංවීම, පුනර්ජනනීය බලශක්ති, කෘෂිකාර්මික නිෂ්පාදන, පොහොර ප්‍රමාණවත්ව සැපයීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳ සාකච්ඡා විය.
පුනර්ජනනීය බලශක්තිය, හරිත කෘෂිකර්මාන්තය, තාක්ෂණ උද්‍යාන, හරිතාගාර ඇතුළු ක්ෂේත්‍ර රැසක මහා පරිමාණ ආයෝජනයෙන්, විදේශ විනිමය පාලනය කිරීමේ මහඟු අවස්ථාවක් උදා වන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
දේශීය ව්‍යවසායකයන් රට ගොඩනැඟීමට ලබා දෙන සහාය අගය කළ ජනාධිපතිවරයා ලෝක වසංගත තත්ත්වයකට මුහුණ දෙමින් ආර්ථිකය ගොඩනැඟීමට රජය උත්සාහ දරන අවස්ථාවේ ඇතැමුන් සිය පටු අරමුණු වෙනුවෙන් ගෙන යන වැරදි මතවාද නිවැරදි කිරීමට ව්‍යාපාරික ප්‍රජාවට හැකියාව පවතින බව ජනාධිපතිවරයා පැවසීය.
ගත වූ දෙවසර තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදු වූ පිබිදීමත් සමඟ සිමෙන්ති සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමෙන් සිමෙන්ති හිඟයක් මතු ව ඇති බව පෙන්වා දුන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී සිමෙන්ති නිෂ්පාදනය සම්පූර්ණයෙන් රට තුළ සිදු කිරීමට රජයේ අවධානය යොමු ව ඇති බව සඳහන් කළේය.
අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් වෙළෙඳපොළ තුළ නැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඖෂධ මිල හැර භාණ්ඩ රැසක මිල පාලනය ඉවත් කිරීමට ගත් තීරණයෙන් අයුතු ප්‍රයෝජන නො ගන්නා ලෙස ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටියේය.
අත්පිට මුදලට ඉන්ධන ලබා ගැනීම අභියෝගයක් වුවත් සංවර්ධනයට සහ කර්මාන්තවලට හානියක් නො වන අයුරින් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමට රජය කටයුතු කරන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
රටේ ආර්ථිකය ගැන ගෙන යන අසත්‍ය ප්‍රචාර මඟින් විදෙස් ආයෝජන අවස්ථා රටට අහිමි වන බව පෙන්වා දුන් මහබැංකු අධිපතිවරයා සියලු විදෙස් ණය ගෙවීමට රජයට හැකියාව ඇති බවත්, ණය නො වන ආයෝජන රටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.
රජයේ කොවිඩ් පාලන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ ව්‍යවසායකයෝ එහි සාර්ථකත්වය හේතුවෙන් තම ව්‍යාපාර ආරක්ෂා වූ බව පැවසූහ. ඇතැම් රටවල් කාර්යක්ෂමව කොවිඩ් වසංගතය පාලනය කිරීමට අපොහොසත් වීමෙන් එම රටවලට ලැබීමට නියමිත ව තිබූ ඇණවුම් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට හිමි වූ බව ඔවුහු පෙන්වා දුන්හ.
කොරෝනා පශ්චාත් සමයේ සංචාරක ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් රට තුළ දක්නට ලැබේ. එහි ප්‍රවර්ධනය සඳහා සංචාරකයන්ගේ පහසුකම් ඉහළ නැංවීමේ අවශ්‍යතාව ව්‍යවසායකයෝ සඳහන් කළහ.
අධ්‍යාපනය සඳහා සිසුන් විදේශගත වීම සම්පූර්ණයෙන් නතර කර, රට තුළ එම අධ්‍යාපන අවස්ථා උදාකර දීමට අවශ්‍ය යාන්ත්‍රණය සකසන ලෙස ද ව්‍යවසායකයෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු ඇතුළු නිලධාරීහු සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ව්‍යවසායකයෝ රැසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.