තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"පොහොර නැතිව හරි පොහොර එක්ක හරි ගොවි ජනතාවගේ ආදායම 100% කින් වැඩිකරනවා"

    “පොහොර නැතිව හරි පොහොර එක්ක හරි ගොවි ජනතාවගේ ආදායම 100% කින් වැඩිකරනවා”

    කූරගල,මුහුදු මහා විහාරය, දීඝවාපිය රටේ උරුම බවට තහවුරු කරලා තියෙනවා. බොරුවලට රැවටිලා නැවත මේවා පාවා දෙන්න එපා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රට පුරා සංවිධානය කරන මහජන රැස්වීම් මාලාව පොදුජන රැලිය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී අද (09) ආරම්භ වූ අවස්ථාවේ පැමිණ සිටි දහස් සංඛ්‍යාත පිරිස අමතා ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

    පොහොර නැතිව හරි පොහොර එක්ක හරි ගොවි ජනතාවගේ ආදායම සියයට සියයකින් වැඩිකරන බව ජනාධිපතිවරයා මෙම හමුවේ දී පැවසීය.

    ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

    මගේ පළමුවැනි ජනාධිපතිවරණ රැස්වීම තිබුණේ මේ බිමේ දී. එදා ඒ ජනහමුවේ දී මම තමුන්නාන්සේලාට පොරොන්දු වුණා.පොහොර නොමිලේ දෙනවා. වී වල සහතික මිල වැඩි කරනවා කියලා. මගේ පළමුවැනි රාජකාරිය වුණේ එය බව තමුන්නාන්සේලාට මතක් කළ යුතුයි. මම අද කියනවා පොහොර නැතිව හරි පොහොර එක්ක හරි ගොවි ජනතාවගේ ආදායම සියයට සියයකින් වැඩිකරනවා කියලා. ගොවි ජනතාව වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරන්න කැප වෙලා ඉන්නවා කියලා සහතික වෙනවා.

    එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට ආර්ථික සංවර්ධනයක් ඇති කරමින් ඉද්දි බොරු ප්‍රචාර ගෙනිහිල්ලා ජනාධිපතිකම නැති කළා. අවුරුදු පහක් තුළ මොනවද වුණේ ? අපි එදා තහවුරු කළ ආරක්ෂාව මේ අය නැති කරලා දැම්මා. අන්තිමට පාස්කු ඉරිදා බෝම්බ ගහලා නැවතුණේ. රටේ බුද්ධි අංශය විනාශ කරලා දැම්මා. රණවිරුවන්ව පාවා දුන්නා. ජාත්‍යන්තරයට ගිහිල්ලා මේ රටේ ස්වෛරීත්වය නැති කළා. අපේ ජාතිකත්වයට, ආගමට, සංස්කෘතික උරුමවලට සිදුවුණේ මොකද්ද ? ඒවා නැති කරලා දැම්මා. ස්වාමීන්වහන්සේලා උසාවි ගෙනිච්චා. අපි මේ අවුරුදු දෙක තුළ ඒ තත්ත්වය නැති කළ බව මතක තියාගන්න.

    ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. අපේ ආගම සංස්කෘතිය රැකලා තියෙනවා. අද බලන්න එදා නැතිවුණ කූරගල,මුහුදු මහා විහාරය, දීඝවාපිය රටේ උරුම බවට තහවුරු කරලා තියෙනවා. බොරුවලට රැවටිලා නැවත මේවා පාවා දෙන්න එපා. අද විපක්ෂයේ ඉන්න අවුරුදු 15ක් එක දිගට ඇමැතිකම් කරපු අය මොනවද කරේ කියලා බලන්න. අපි තමුන්නාන්සෙලා ඉදිරියට එන්නෙ වැඩ කරලා. අපේ ප්‍රතිපත්ති, පක්ෂයේ ප්‍රතිපත්ති, ඉදිරි අනාගතය බලලා කරන ප්‍රතිපත්තියි.අධ්‍යාපනය වේවා, විදුලි බලය වේවා මේ සෑම ප්‍රතිපත්තියක්ම ඉදිරියට ගෙනියන්නේ මේ රටේ තරුණ තරුණියන් වෙනුවෙන්. අපි සෑම විශ්වවිද්‍යාලයකට බඳවා ගැනීම් 10000ක් දක්වා වැඩි කළා. විශ්වවිද්‍යාලයට තාක්ෂණය අපි ගෙනල්ලා තියෙනවා. ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනය වෙනස් කරන්න අපි වැඩ කරනවා.

    හරිත කෘෂිකර්මාන්තයක් ගැන කතා කරන්නෙ, අපිට පොඩි කාලේ වක්කඩකින් වතුර ටිකක් බොන්න පුළුවන් කම තිබුණා. අද පුළුවන්ද ? වකුගඩු රෝගය පිළිකා රෝගය දිහා බලලයි හරිත කෘෂිකර්මාන්තයක් ගැන කතා කරන්නෙ. අපි ගොවි ජනතාවගේ ආර්ථිකය වැටෙන්න දෙන්නෙ නැහැ. මාත් එක්ක එකතු වන්න. විශ්වාසය තබන්න. දේශීය හා විදේශීය බලවේග මේ රජය කඩන්න. මේ ගමන වළක්වන්න උත්සාහ ගන්නවා. එදා අපි බලය ගත්තම සැළැස්මක් තිබුණා. අපි නොසිතූ විධියට මුළු ලෝකයටම අභියෝගයක් වුණ කොවිඩ් වසංගතය ආවා. අපි නායකයෙක් විධියට ඒ අභියෝගවලට මුහුණ දුන්නා. එන්නත් ගෙනාවා. සියයට 90කට එන්නත් දුන්නා. දැන් තුන්වැනි එන්නතත් දෙනවා. සියලු දෙනාම ඒ තුන්වැනි එන්නතත් ගන්න. නැවත රට වහන්න ඉඩ තියන්න එපා.

    අද ආර්ථිකය පිබිදෙනවා. සංචාරකයන් පැමිණෙනවා. අපි මේ ආර්ථිකය ඉදිරියට ගෙනයනකොට එදා අපි පොරොන්දු වුණු ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්න පුළුවන්. මම අහන්න කැමතියි මොන රජයද පළමුවැනි අවුරුද්දෙම ලක්ෂයක් රැකියාවල් දුන්නෙ ? අපි තමුන්නාන්සෙලාට හැම අවස්ථාවේම සහන දුන්නා. සෞභාග්‍යයේ දැක්ම ඉදිරි අවුරුදු තුන තුළ ඉෂ්ට කරනවා. ඔබට වැරදි දේශපාලන බලවේග නිසා වැරදි ප්‍රචාරකවලට අහුවෙලා වැඩ වර්ජනවලට යනවා. ඔබගේ වගකීම තියෙන්නෙ ආණ්ඩුව වෙනුවෙන් නෙමෙයි ජනතාව වෙනුවෙන්. ඒ නිසා ඔබගේ වගකීම රට වෙනුවෙන් ඉෂ්ට කරන්න. සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙනියන්න ඉදිරි අවුරුදු තුන ඇතුළත ඔබගේ වගකීම ජනතාව වෙනුවෙන් ඉටු කරන්නැයි රජයේ සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

     

     

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img