74 වැනි නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද( 04) උදෑසන නිදහස් චත්‍රරස්‍රයේදී ආරම්භ වේ.
‘අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක්’ යන තේමාව යටතේ මෙවර නිදහස් දින සමරුව පැවැත් වේ.
කොවිඩ් මාර්ගෝපදේශන්ට අනුකූල වෙමින් ජාතියේ අභිමානය සහ ශ්‍රී විභූතිය විදහා දක්වන පරිදි මෙම උත්සවය සැළසුම් කර ඇත.
භට පිරිස් 6500ක් මෙවර පෙළපාලිය සඳහා සහභාගී වීමට නියමිතය. මෙවර නිදහස් සැමරුම් උත්සවයට යුද හමුදා නිලධාරීන් 3463දෙනෙකු නාවික හමුදා නිලධාරීන් 919 දෙනෙකු ගුවන් හමුදා නිලධාරීන් 804 දෙනෙකු හා පොලිස් නිලධාරීන් 336 දෙනෙකු සහභාගී වීමට නියමිතයි. සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 437 දෙනෙකු හා ශිෂ්‍ය භටයින් 259 දෙනෙකු ද සැමරුම් උළෙලට එක්වීමට නියමිතයි.
සියලු ජාතීන් නියෝජනය කරමින් සාම්ප්‍රදායික සංස්කෘතිකාංග ද මෙවර ජාතික නිදහස් දින උත්සවයට එක්කිරීමට නියමිතයි.
74 වැනි නිදහස් දින ප්‍රධාන සැමරුම පෙරවරු 08.13 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සමඟ ආරම්භ වන අතර නිදහස ලබාගැනීම සඳහා ජීවිත පරිත්‍යාග කරමින් කටයුතු කළ වීරෝදාර සියලු පිරිස් අනුස්මරණය සඳහා විනාඩි දෙකක නිහඬතාව පැවැත්වීම සිදු වේ.
ඉන් පසුව ජනාධිපතිවරයා ජාතිය ඇමතීම සිදුකරන අතර ඉන් පසුව ත්‍රිවිධ හමුදාව විසින් ජනාධිපතිවරයාට පිරිනමන සම්මාන මුරපෙළපාළිය පැවැත්වීම සිදුවේ. ත්‍රිවිධ හමුදා, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය , ජාතික ශිෂ්‍ය භට බළකාය, මෙන්ම සංස්කෘතික කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ආචාර පෙළපාලිය හා සන්නද්ධ රථ පෙළපාළිය ද ඉන් පසුව පැවැත්වේ. පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ මෙවර නිදහස් දින සැමරුම සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව පැවැත්වෙන අතර ජෛව බුබුළක් ලෙස ක්‍රියාත්මක වීම සිදුවේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ගජබාහු’ නෞකාව ගාලුමුවදොරහි දී සිය සම්ප්‍රදායානුකූල ආචාර වෙඩි මුර 25 පවත්වා මාතෘ භූමිය වෙත සිය ආචාරය දක්වන අතර ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන් ගුවන් යානා 26 ක් නිදහස් දින සැමරුමට එක් වේ.
ජාතික නිදහස් සමරුවට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මෙහෙවර අගයමින් උසස්වීම් රැසක් පිරිනැමේ.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරින් 480 දෙනෙකු සහ සෙසු නිලයින් 8034 දෙනෙකු වෙත ඔවුන්ගේ මීළඟ නිලයට උසස්වීම් ලබාදෙන ලදී.
ඒ අනුව, ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 07 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට, කර්නල්වරුන් 16 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල්වරුන් 36 ක් කර්නල් නිලයට, මේජර්වරුන් 50 දෙනෙක් ලුතිතන් කර්නල් නිලයට, කපිතන්වරුන් 207 දෙනෙක් මේජර් නිලයට, ලුතිතන්වරුන් 94 දෙනෙක් කපිතන් නිලයට සහ දෙවන ලුතිතන්වරුන් 70 දෙනෙක් ලුතිතන් නිලයට යනාදී වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරින් 480 දෙනෙකු වෙත එම උසස්වීම් පිරිනැමීම සිදුකරනු ලැබීය.
අද දිනයේ දී බන්ධනාගාර ගත සිරකරුවන් 197 දෙනෙකු ජනපති පොදු සමාව ලබා නිදහස් වීමට ද නියමිතය.