සිසේරියන් සැත්කම් කිරීමේදී පැලෝපීය නාලය අවහිරකර මව්වරුන්ව වඳභාවයට පත්කළේ යැයි චෝදනා එල්ලවූ කුරුණෑගල රෝහලේ සේවයේ නිරතව සිටි ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සාෆි සහබ්දීන් නැවත සේවයේ පිහිටුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේනම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකට දැනුම් දී ඇත.
ඒ 2021 දෙසැම්බර් 06 වෙනිදා දාතමින් නිකුත් කළ ලිපියක් මඟිනි.
එහි සඳහන් වන ආකාරයට නැවත සේවයේ පිහිටුවීමට අමතරව සාෆි සහබ්දීන් අනිවාර්ය නිවාඩු යැවූ කාලය තුළ වැටුප් ගෙවන ලෙසටද දැනුම් දීමක් කර තිබේ.
සහෆි සහබ්දීන් මව්වරුන්ව වඳභාවයට පත්කලේ යැයි චෝදනා එල්ලවන්නේ 2019 වසරේදීය. මව්වරුන් 1000 ක් පමණ වද භාවයට පත්කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්දයෙන් කුරුණෑගල එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලබන්නේ 2019 වසරේ මැයි 25 වෙනිදාය. ඒත් සමඟ ඔහුව අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේය.
රටේ මහත් ආන්දෝලනයට තුඩුදුන් එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන එදිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරෙන අතර මාසයකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාගෙන ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලදි. ඒ කාලය ඇතුලත කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලදී මෙම වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම් කළ මව්වරුන් සිය ගණනක් පොලීසියට පැමිණිලි කරන්නට වූයේ තමන්ට දැන් දරුවන් නොමැති බව සඳහන් කරමිනි. එසේ පැමිණිලි කළ මව්වරුන් අතරින් 601 දෙනෙක්ගේ ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන තිබුණි.
සාෆි සහබ්දීන්ව නැවත රැකියාවේ පිහිටුවීමට 2020 ජනවාරි මාසයේදීද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තද විරෝධතා හේතුවෙන් එම තීරණය අවලංගු කෙරුණි.