ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් පදනම් වූ ප්‍රකට තාලිබ් ඇන්ඩ් සන්ස් මැණික් ව්‍යාපාරය හිමි තාලිබ් පවුලේ එක් පුතකු වන, අහමඩ් ලුක්මන් තාලිබ්ට ඇප ලබාදීමට එරට ක්වීන්ස්ලන්ඩ් උසාවිය ප්‍රතික්ෂේප කර තිබේ.
මෙල්බර්න් හි ඊසානදිග ඩොන්කැස්ටර් නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අහමඩ් ලූක්මන් තාලිබ් ත‍්‍රස්තවාදයට ආධාර අනුබල දීමේ චෝදනා මත වික්ටෝරියා ප්‍රාන්තයෙන් පිටුවහල් කර තිබුණි. පිටුවහල් කරන ලද අහමඩ් බ්‍රිස්බේන් වෙත පැමිණ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ඇප ඉල්ලුම් කරන ලදී.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජනපදය අහමඩ් ලූක්මන් තාලිබ් ත‍්‍රස්තවාදීන්ට මූල්‍ය සපයන්නකු ලෙස නම් කළේය. ඔහු තම මැණික් ව්‍යාපාරය ඔස්සේ අන්තවාදී ත්‍රස්තවාදීන්ට ලොව පුරා අරමුදල් ගෙනයාමට යොදා ගත් බවට ද චෝදනා කළේය.
2013 සැප්තැම්බර් 1 සිට 2020 ඔක්තෝබර් 1 දක්වා කාලය තුළ ත්‍රස්ත ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා හිටපු ක්වීන්ස්ලන්ත ජාතිකයෙකුට තුර්කියට ගොස් ඕස්ට්‍රේලියානු සටන්කරුවෙකු ලෙස සිරියාවට ඇතුළු වී රජයේ හමුදාවන්ට එරෙහිව ආයුධ අතට ගැනීමට උදව් කළ බවට අහමඩ් ලුක්මන් තාලිබ්ට එරෙහිව ඇති චෝදනාවය.

අහමඩ් බ්‍රිතාන්‍යයේ උපත ලැබූවෙක් වන අතර, වයස අවුරුදු හතර වන විට ඕස්ට්‍රේලියාවට ගියේය. ඔහුගේ පියා ජෛව සංඛ්‍යාන මහාචාර්යවරයෙක් වන ලුක්මන් තාලිබ් නමැති 58 වියැති අයෙකි. ඔහු මැණික් ව්‍යාපාරයක් වන තාලිබ් ඇන්ඩ් සන්ස් පවත්වාගෙන යයි.
අහමඩ් ලුක්මන් තාලිබ් මහතා 2012 දී ගෝල්ඩ් කෝස්ට් හි බොන්ඩ් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා උපාධියක් සම්පූර්ණ කළේය. අහමඩ් තාලිබ් මහතා දරුවන් 8 දෙනෙකුගේ පියෙකි.
කෙසේවෙතත් තාලිබ් මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද අතර, එම නඩුව බ්‍රිස්බේන් මහේස්ත්‍රාත් අධිකරණයේ දී කල් තබන ලදී.
මේ අතර ඕස්ට්‍රේලියාවේ කොරෝනා කාර්ය සාධක බලකායේ අංශයක සේවය කළ ඕස්ට්‍රේලියානු ජෛව සංඛ්‍යාන මහාචාර්යවරයකු වූ ලුක්මන් තාලිබ් සහ ඔහුගේ තවත් පුත්‍රයකු වන ඉස්මයිල් තාලිබ් මාස පහකට ආසන්න කාලයක් කටාර්හි රහසිගත ස්ථානයක රඳවා තබාගෙන මේ වසරේ ජනවාරි මාසයේදී නිදහස් කර තිබුණි.
මහාචාර්ය ලූක්මන් තාලිබ් (58) සහ ඔහුගේ පුත් ඉස්මයිල් තාලිබ් (24) 2020 ජූලි මාසයේදී දෝහාහි පිහිටි ඔවුන්ගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් අත්අඩංගුවට ගෙන මාස තුනකට පසු, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඕස්ට්‍රේලියාවේ වෙසෙන තවත් පුතෙකු අල් කයිඩාවේ “මූල්‍ය පහසුකම් සපයන්නෙකු” ලෙස නම් කළේය.
මහාචාර්යවරයකු වන ලුක්මන් තාලිබ් 1986 සිට ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වේ. ඔහු එක්සත් රාජධානියේ ශාස්ත්‍රපති උපාධිය සහ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය. ඔහු විද්‍යාත්මක අධ්‍යයනයන්ට සම්බන්ධ වී ඇති අතර ඕස්ට්‍රේලියාව, ජපානය, සවුදි අරාබිය, කුවේට්, ඇමරිකා එක්සත් ජනපදය සහ ස්වීඩනය ඇතුළු බොහෝ රටවල සිය අධ්‍යාපන කටයුතු කරගෙන ගියේය. සුප්‍රකට මැණික් ව්‍යාපාරය ඔවුන් ඕස්ට්‍රේලියාව පදනම් කරගනිමින් සිදුකරන බව පැවසේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිශන් වාර්තාව මගින් සැකකරුවකු ලෙස මහාචාර්ය ලුක්මන් තාලිබ් ද නම් කර තිබේ.
මහාචාර්ය තාලිබ් 2015 සිට කටාර් හි වාසය කර ඇති අතර එහි වසංගත ප්‍රතිචාරය සම්බන්ධයෙන් එහි ප්‍රමුඛ මහජන සෞඛ්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.
දරුවන් සිව් දෙනෙකුගේ පියා වන ඔහු කටාර් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විය.
ඔහු අත්අඩංගුවට ගැනීම ගැන ඔහුගේ පවුලේ අය මුලින්ම දැන සිටියේ සැප්තැම්බර් මාසයේදී ඔහුගෙන් ඇමතුමක් ලැබුණු විටය. ඔහුට සතිපතා ඇමතුම් දෙකක් ලබා ගැනීමට අවසර දී තිබූ බව පවුලේ අය පවසා තිබේ.
ඕස්ට්‍රේලියානු රජය ඔවුන්ට කොන්සියුලර් ආධාර සපයන අතර පළමු වරට ඔහුව බැලීමට පසුගිය මාසයේ හැකි විය.
ඔහුගේ පුත් ඉස්මයිල් රඳවා තබා ගැනීමට පෙර වසර තුනක් කටාර්හි ආරක්ෂක ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කර ඇත.
මහාචාර්ය තාලිබ්ගේ දියණිය වන මරියම් ලූක්මන් තාලිබ් ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටියේ ඔවුන්ට තවත් ආධාර ලබා දෙන ලෙසයි.
මහාචාර්ය තාලිබ් එක්සත් රාජධානියේ සිය ශාස්ත්‍රපති උපාධිය සහ ආචාර්ය උපාධිය සම්පූර්ණ කර ඇති අතර වසර 30 ක සිය වෘත්තීය ජීවිතය තුළ ජාත්‍යන්තර පර්යේෂණ ව්‍යාපෘති 400 කට වැඩි ගණනකට සම්බන්ධ වී ඇත.
ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජනපදය අහමඩ් ලූක්මන් තාලිබ් ත‍්‍රස්තවාදීන්ට මූල්‍ය සපයන්නකු ලෙස නම් කළේය. ඔහු තම මැණික් සමාගම ලොව පුරා අරමුදල් ගෙනයාමට යොදා ගත් බවට ද චෝදනා කළේය.
“තාලිබ් රටවල් ගණනාවක මූල්‍ය ගනුදෙනු කර ඇති අතර මැණික් සම්බන්ධව ඔහු කළ ව්‍යාපාරය අල් කයිඩාවේ ප්‍රයෝජනය සඳහා ජාත්‍යන්තරව අරමුදල් ගෙනයාමේ හැකියාව ලබා දී තිබේ” යැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
තාලිබ් පවුලේ සාමාජිකයන් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පුරවැසියන් ය.
එම නිවේදනයෙන් පසු ඔහුගේ නිවස ඕස්ට්‍රේලියාවේ පොලිසිය විසින් වටලා ඇත. කටාර් බලා යාමට පෙර මෙම පවුල බ්‍රිස්බේන් හි ජීවත් විය.