තවත්
    මුල් පිටුවදේශීය පුවත්"මහජන නියෝජනයකින් සැකසෙන ප්‍රතිපත්ති ආණ්ඩු පෙරළියකදී වෙනස් කරන්න බෑ"- ජනපති

    “මහජන නියෝජනයකින් සැකසෙන ප්‍රතිපත්ති ආණ්ඩු පෙරළියකදී වෙනස් කරන්න බෑ”- ජනපති

    “පුළුල් මහජන නියෝජනයකින් සැකසෙන ප්‍රතිපත්තියක් ආණ්ඩු පෙරළියකදී වෙනස් කරන්න බැහැ. “යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජනතාවගේ අදහස් ලබා ගැනීම සඳහා වන “ඩිජිටල් වේදිකාව” දියත් කිරීම පිණිස අද (26) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    රටක චින්තනය සහ දර්ශනය ගොඩනැගෙන්නේ එරට අධ්‍යාපන ක්‍රමය තුළින් බැවින් යල් පැනපු අධ්‍යාපන ක්‍රමයකින් බිහි වන්නේ නූතන ලෝකය සමග ඉදිරියට ගමන් කළ නොහැකි සමාජයක් බවත් ඩිජිටල් වේදිකාව අදහස් සහ නිර්මාණශීලි යෝජනා ඉදිරිපත් කර තිරසර අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට ජනතාවට ලැබෙන අනගි අවස්ථාවක් බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

    21 වැනි ශතවර්ෂයට ගැළපෙන අයුරින් දැනුම පාදක කොටගත් මානව ප්‍රාග්ධනය සැලසුම් කොට පෝෂණය කිරීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රමුඛ පරමාර්ථයක් බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

    ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කළයුතුය. රටේ අනාගත පරපුර දැනුමෙන්, කුසලතාවෙන් පිරිපුන් පරපුරක් ලෙස ලෝකය හමුවට ගෙන යාම “නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන්” තමා අපේක්ෂා කරන බව රාජපක්ෂ මහතා කියා සිටී.

    “නැණසත් මනසත් පොහොසත් කරන පිරිපුන් අධ්‍යාපනයක් කරා” යන්න “ඩිජිටල් වේදිකාවේ” තේමාවයි.

    “ඩිජිටල් වේදිකාව” නිල වශයෙන් විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

    අද සිට ඉදිරි මාස 03 ක කාලයක් පුරා egenuma.moe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන යෝජනා සහ අදහස් “ඩිජිටල් වේදිකාවට” යොමු කිරීමට පිළිවන. පෙර පාසල් අධ්‍යාපනය, ප්‍රාථමික සහ ද්වීතීයික අධ්‍යාපනය, වෘත්තීය සහ තෘතීයික අධ්‍යාපනය සහ උසස් සහ වෘත්තීය අධ්‍යාපනය ලෙස ප්‍රධාන උප ක්ෂේත්‍ර 04ක් යටතේ ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ. තිරසර අධ්‍යාපන ප්‍රතිපත්තියක් සඳහා වඩාත් පුළුල්ව මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට “ඩිජිටල් වේදිකාව” විවෘතව පවතී.

    උසස් අධ්‍යාපනයට ප්‍රවේශවීමට වැඩි අවස්ථාවක් සැලසීම ප්‍රතිසංස්කරණවල තවත් අරමුණකි. විශ්ව විද්‍යාලවල ක්‍රියාත්මක විෂය නිර්දේශ නවීකරණය සහ ප්‍රතිව්‍යුහකරණය මගින් රැකියා නිපුණතා වර්ධනය අපේක්ෂා කෙරේ.

    රැකියාවක නිරතවන අතර තම අධ්‍යාපන සුදුසුකම් වැඩිදියුණු කර ගැනීම සඳහා විවෘත විශ්ව විද්‍යාල පද්ධතිය පූර්ණ වෙනසකට ලක්විය යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

    සියලුම ශ්‍රී ලාංකික දරුවන්ට පෙර පාසලේ සිට අංග සම්පූර්ණ අධ්‍යාපනයක් දීම තම අපේක්ෂාව බව කී හෙතෙම දැනට පවතින අන්තර්ජාල සහ තාක්ෂණික අඩු පාඩු 2023 වර්ෂය වන විට සම්පූර්ණයෙන් ඉවත් කරන බව පැවසීය.

    ප්‍රෞඩ අතීතයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවට ඊට වඩා ප්‍රෞඩ අනාගතයක් උරුමකරදීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් තමා අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

    eගෙනුම

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. සෑම දරුවෙකු ම ක්‍රීඩාවක් කළ යුතු ය.එයින් දරුවෙකුගේ සෞඛ්‍යය මනා ලෙස සංවර්ධනය වේ.

    Leave a Reply to A.K.Pubudu Malshan'Cancel reply

    spot_img
    spot_img