තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වප් පුන් පොහොය අදයි

    වප් පුන් පොහොය අදයි

    අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වප් පුන් පොහෝ දිනය අදයි.

    මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් සිදුවූයේ අද වැනි වප් පුන් පොහෝ දිනයන්හි දී ය.

    වප් පෝ දිනය ශ්‍රී ලාංකික බෞද්ධයන් හට වැදගත් වන්නේ කඨින චීවර පූජාව සිදුවන පොහොය ලෙසය. අදින් උදාවන වප් පෝ දිනයෙන් පසු මෙරට විහාරස්‌ථානවල කඨින පිංකම් පැවැත්වේ. වසරකට වරක්‌ පමණක්‌ සිදුවන මෙම උතුම් පුණ්‍ය කර්මය උසස්‌ කුසලයන් සිදුකරගත හැකි අවස්‌ථාවකි.

    වස්‌ පවාරණය කළ භික්‌ෂුන් වහන්සේ නමක්‌ සිටිය යුතු වීම, කඨින චීවරය දායකයන් විසින් සංඝයා වහන්සේට පූජා කර සංඝයා වහන්සේ විසින් සුදුසු භික්‌ෂුවකට දියයුතු වීම සහ එතැන්හිදීම කපාකොට මසා සකස්‌ කර ගත යුතු වීම ආදී කරුණු එකතුවීමෙන් සිදුවන කඨින පිංකම දුර්ලභ පිංකමක්‌ ලෙසින් සැලකේ. මෙම පිංකමේ ආනිසංස කල්ප තිහක්‌ අපාගත නොවී සිටීමට හේතුවේ. එමෙන්ම කඨින දානමය පිංකම අට මහා කුසල් අතර ප්‍රධාන වේ.

    ආර්ය පුද්ගල මහා සංඝරත්නය වෙනුවෙන් මහ මෙර උසට සියලු ආමිෂ දානයක්‌ අභිබවා කඨින පූජාව අග්‍රස්‌ථානය ගනී.

    එමෙන්ම වප් පොහෝ කඨින චීවර මාසය ආරම්භවීම ඇතුළු තවත් බොදුනුවන්ට වැදගත් කරුණු ගණනාවක්‌ සමන්විත වේ.

    *බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට දඹදිව සංකස්‌ස නුවරට වැඩඩම කිරීම,
    *භික්‌ෂුන් වහන්සේ විනය ප්‍රඥප්තියක්‌ ඉටු කරන දිනය වීම,
    *අනුලා දේවිය ඇතුලු කුල කතුන් පැවිදි බිමට පත් කිරිමට මහින්ද මහ රහතන් වහන්සෙගේ අනුශාසනා පරිදි දෙවැනපෑතිස් රජු ධර්මාශෝක රජු වෙත දූත කණ්ඩායමක් පිටත් කිරිම.
    *ථූපාරාමයේදී විනය පිටකය සංගායනා කිරීම
    *මතු බුදුවන මෙත් බොධිසත්වයන් වහන්සෙ උතුම් ගෞතම සසුනෙ පැවිදී වූයෙ අද වැනි උතුම් දිනයක විම.
    *සාරිපුත්ත මහ රහතන් වහන්සේ නුවණැති භික්ෂූන් අතර අගතැන්පත් වූයේ අද වැනි උතුම් දිනයක විම.
    *උතුම් ජයසිරි මහාබෝධි අංකුරය මහා බොධින් වහන්සෙගෙන් ගැලැවී රන් කටාරමක පිහිටියේ අද වැනි උතුම් දිනයක විම.

    ආදි වශයෙන් වප් පොහොය හා පවතින ශාසනික වැදගත් සිදුවීම් බොහොමයක් වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img