ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියදී ඔහුගේ සංකල්පයකට අනුව බිහිවූ නිදහස් චතුරශ්‍රයට යාබදව පිහිටි ආකේඩ් සාප්පු සංකීර්ණ පරීශ්‍රය ගෙවී ගිය වසර පහක පමණ කාලය තුළ පැවැතියේ අභාවයට යමිනි. ආකේඩ් වෙත එන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් විශාල මාළු ටැංකිය පවා තිබුණේ අභාවයට යමිනි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සාප්පු සහ ප්‍රදර්ශනාගාර පවා පැවැතියේ වැසී යාමිණි. මෙවන් තත්වයක් මත නාගරික සංවර්ධන අධිකාරියේ පාලනයේ පැවැති ආකේඩ් පරීශ්‍රය සොෆ්ට්ලොජික් සමාගමට අනුබද්ධ ඔඩෙල් වෙත වසර 10 ක කාලයට බදු ලබාදීමට ගිවිසුම් ගත වන්නේ පසුගියදාය. ඒ මාසිකව රුපියල් කෝටියවක බදු ආදායමක් නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන ආකාරයටය. ඒත් සමග අකේඩ් සාප්පු සංකීර්ණ පරීශ්‍රය ගැන සමාජයේ දැඩි කථාබහකට ලක්වන්නට ගත්තේය. ඒ එම පරීශ්‍රය සමාගමකට බදුදීම මුල්කර ගනිමිනි. ඒ සම්බන්ධයෙන් විවිධ චෝදනා පවා එල්ලවන්නට විය.
“ ආකේඩ් සාප්පු සංකීර්ණ ගොඩනැගීම වෙනුවෙන් රු. මිලියන 700කට වඩා වැඩි ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහජනයාගේ ධනය වැය බරක් හැටියට දරලා තිබෙනවා. මේ දැවැන්ත වියදමක් දරන සාප්පු සංකීර්ණය, නාගරික සංවර්ධන අධිකාරියට නඩත්තු කරගන්න බැරි තරමේ බරක් වුණා. වාර්ෂිකව පාඩු වුණා. දැන් ආණ්ඩුව තීන්දු කළා, මං හිතන්නේ කැබිනට් මණ්ඩලය තීන්දුවත් ගත්තේ නැහැ කියලා මං දන්නා පරිදි, දැන් මේ සාප්පු සංකීර්ණය, සොෆ්ට්ලොජික් ආයතනයට, අශෝක් පතිරගේ මහතාගේ ආයතනයට අවුරුදු 10කට බදු දීලා තිබෙනවා. හැබැයි ආණ්ඩුව ආවේ කොහොමද, රාජ්‍ය දේපළ ආරක්ෂා කරන, රාජ්‍ය සම්පත්වල මුරකරුවෝ මුරබල්ලෝ ලෙස තමයි පාලනයට ආවේ. නාගරික සංවර්ධන අධිකාරිය සතුව තිබුණු ආකේඩ් සාප්පු සංකීර්ණය බදු දීම තමුන්නාන්සේලාගේ ජනවරමත් එකක් සම්බන්ධ වෙන්නේ කොහොමද? මේක බදු දුන්නේ කොහොමද? රාජ්‍ය දේපළක් බදු ලබා දෙනවා නම් විවෘත ටෙන්ඩර් පටිපාටයක් අනුගමනය කරන්න ඕනේ. දැන් මම අහනවා, නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයාගෙන් මේ ආකෝඩ් සාප්පු සංකීර්ණය බදු ලබා දීම සඳහා විවෘත ටෙන්ඩර් කැඳවීමක් කළාද, ඒ අනුවද සොෆ්ට්ලොජික් සමාගම තෝරා ගනු ලැබුවේ?“ මේ ගැන ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී 24 වෙනිදා ප්‍රශ්න කිරීමක්ද කළේ එසේය.
නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් අනුර කුමාර මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයට සවිස්තරාත්මක පිළිතුරක් 25 වෙනිදා ලබාදෙන්නේ ආකේඩ් පරීශ්‍රය මේ අවස්ථාවේදී බදුදීමේ වැදගත්කම මනාවට පැහැදිලි කරමිනි. එසේම එම බදුදීම ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා සිදුවූ බවද ඔහු පෙන්වා දෙන්නේ මෙසේය.
“2010 -2014 කාලයේ එවකට පැවති අපේ රජය විසින් දියත් කළ නගර අලංකරණ වැඩසටහන යටතේ කොළඹ නගරයේ තිබුණු ගරා වැටුණු ගොඩනැගිලි රැසක් නවීකරණය කොට මහජන ප්‍රයෝජනය සඳහා යොදා ගනු ලැබුවා. ආකෝඩ් ගොඩනැගිල්ලත් ඒ ආකාරයට සකස් වූ කඩ සාප්පු 42කින් යුත් වෙළඳ සංකීර්ණයක්. මේ වෙළෙඳ සංකීර්ණය ආරම්භක අවස්ථාවේ දී කළමනාකරණය කිරීමේ කටයුතු කළේත් නාගරික සංවර්ධන අධිකාරිය විසින්මයි. 2014 දී මාසිකව මිලියන 10 ක පමණ ආදායමක් ඉපයූවත් 2015 න් පසුව යහපාලන රජය බලයට පැමිණි පසු වසරින් වසර මෙහි මාසික ආදායම පහත ඇවිත් අවසාන වන විට මිලියන 8.9කටත් වඩා අඩු මට්ටමකට වැටී තිබුණා. ඊටත් වඩා බරපතළ ප්‍රශ්නය වුණේ 2019 වර්ෂයේ අපි බලයට එන විට රු. මිලියන 100කට අධික මුදලක් නාගරික සංවර්ධන අධිකාරියට හිඟ මුදල් ලෙස අයකර ගත යුතුව තිබුණා. කඩ 42 න් කඩ 11ක් වසා දමා තිබුණා.“
“මේ කරුණු සියල්ලම සලකා බලා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කොට තිබෙනවා, එහි කළමනාකාරීත්වය පුද්ගලික ක්ෂේත්‍රයට බදු දී ආයතනයට වැඩි ආදායමක් උපයා ගන්නට. මේ කාර්යය කරලා තිබෙන්නේ කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවත් විසින් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින්. ඒ අනුව ප්‍රසිද්ධ පුවත්පත් 3ක භාෂා තුනෙන්ම පුවත්පත් දැන්වීම් 2020.10.20 දින පළ කර තිබෙනවා. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජිකයින් ලෙස කටයුතු කර තිබෙන්නේ සභාපති ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්තුමා, නාගරික සංවර්ධන හා නිවාස අමාතයාංශයේ ලේකම්තුමා, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්තුමා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමා සහ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමායි. ඊට අමතරව තාක්ෂණික කමිටුව වුණේ, සභාපති ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්තුමා, නාගරික සංවර්ධන අධිකාරියේ වත්කම් කළමනාකරණය කිරීඹ් සහ අයකිරීම් අධ්‍යක්ෂක, නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් අධ්‍යක්ෂක, මුදල් අමාත්‍යාංශයේ කොන්ට්‍රොල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමා. නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂතුමා.“
“මේ ක්‍රියවලියේ දී රජයේ තක්සේරුකරුගෙන් මේ ගොඩනැගිල්ල සඳහා වාර්ෂික බදුකුලිය ලෙස රු. මිලියන 120 ක තක්සේරුවක් ලැබිලා තිබුණා. පුවත්පත් දැන්වීම්වල ප්‍රචාරය දක්වමින් ආයතන කිහිපයක්ම ටෙන්ඩර් ලිපිලේඛන මිල දී ගෙන තිබුණත්, මිල ගණන් ඉදිරිපත් කිරීම සඳහා ආයෝජකයින්ට ලබා දී තිබූ සති 4ක කාලය තුළ ලංසු තබා තිබුණේ ඔඩෙල් පීඑල්සී කියන ආයතනය සහ අබාන්ස් පීඑල්සී කියන ආයතන දෙක පමණයි. මේ ටෙන්ඩරය සඳහා අනුගමනය කර තිබුණේ තාක්ෂණික යෝජනා සහ මූල්‍ය යෝජනා වෙනවෙනම ඉදිරිපත් කරන Two Envelope ක්‍රමවේදයයි. තාක්ෂණික කමිටුව යෝජනා අධ්‍යයනය කොට ටෙන්ඩරය සඳහා සියලු නිර්ණායකයන් සම්පූර්ණ කරන ලද ඔඩෙල් පීඑල්සී ආයතනය තෝරා ගෙන තිබුණා ඊළඟ වටය සඳහා. මේ ආයතනය ප්‍රසම්පාදන කමිටුව විසින් ඒකමතිකව අනුමත කර තිබෙනවා.“
“ඔඩෙල් පීඑල්සී ආයතනය මසකට රු. මිලියන 10 ක්, එනම් වර්ෂයකට බදු කුලිය රු. මිලියන 120 ක් බදු රහිතව ගෙවීමට ගිවිසුම් ගත වී තිබෙනවා. වෙනත් වචනවලින් කියනවා නම් මසකට රු. කෝටියක ආදායමක් මේ බදු දීම හරහා නාගරික සංවර්ධන අධිකාරිය උපයනවා. ආයෝජක සමාගම පළමු වසර සඳහා සමස්ත බදු මුදල වන රු. කෝටි 12ක ගිවිසුම අත්සන් කරන වෙලාවේ ගෙවනවාය අමතරව තවත් කෝටි 24ක් ආරක්ෂක තැන්පතුවක් ලෙස ගෙවා තිබෙනවා. වර්ෂයකට බදු ලෙස ගෙවන රු. කෝටි 12ක මුදල වසර 5කට පසු රජයේ තක්සේරුකරුගේ තක්සේරු අනුව වැඩිකරන්නටත් මේ ආයතනය එකඟ වී තිබෙනවා.“
“වත්මන් රජය බලයට පත්වීමට පෙර ජනතාවට ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රාජ්‍ය ආයතන කාර්යක්ෂම හා ලාභ ලබන ව්‍යවසායන් ලෙස පවත්වා ගෙන යාමට අපි පොරොන්දු වී තිබෙනවා. අනුර කුමාර දිසානානයක මැතිතුමා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී පුද්ගලික නම් ඉලක්ක කරමින් කරන සාවද්‍ය ප්‍රකාශ බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරනවා. අපි හැමවිටම කටයුතු කරන්නේ ඉතාමත් විනිවිදභාවයකින් යුතුව නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුකූලවයි.“