අහිංසක මගී ජීවිත 14 කට මරු කැදවූ පස්සර බස් අනතුර සිදුවන විට එම බස් රථය පැදවූ රියදුරුට එරෙහිව අන්තරාකාරී ලෙස රිය පැදවීමක් සම්බන්ධයෙන් විභාගවන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් විවෘත වරෙන්තුවක් නිකුත්වී තිබී ඇත.
උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කරනු ලැබුවේ මිරිහාන පොලීසියේ රථවාහන අංශය විසින් එම නඩුව බස් රථ රියදුරාට එරෙහිව පවරා ඇති බවය.
මෙම බස් රථ රියදුරු අපරික්ෂාකාරී ලෙස රිය ධාවනයේ නිරතවන රියදුරෙක් බවට මේ වන විට තොරතුරු ලැබී ඇති බවද එම නිලධාරියා කීය.
“මෙම බස් රථය ලුණුගලින් ගමන් ආරම්භකර කොළඹ බලා ධාවනය වෙමිනුයි තිබුණේ. අපේ විමර්ශනවලට අනුව පෙනී ගොස් තිබෙන්නේ ලුණුගල සිට අනතුර වූ ස්ථානයට සාමාන්‍ය වේගයකින් රථයක් ධාවනය කිරීමට පැයක පමණ කාලයක් ගතවන බවයි. එහෙත් මෙම බස් රථය අනතුරට ලක්වෙලා තියෙන්නේ ගමන් ආරම්භයේ සිට විනාඩි 20 කට පසුවයි. අධික වේගයෙන් බස් රථය ධාවනය වෙලා තිබෙන බවයි අපිට පෙනී ගොස් තිබෙන්නේ. එසේම බස් රථය අනතුරට ලක්වන විට මාර්ගයේ නතර කර තිබුණු ලොරි රථයේ රියදුරු මෙම අනතුරට වගකිව යුතු නැහැ. අධික වේගයෙන් බස් රථය ඉදිරියට පැමිණෙන විට ඔහු කරන්නේ අනතුරක් වලක්වා ගන්නට රථය නතරකර ගැනීමයි. බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවයි පල්ලමට පෙරලී තිබෙන්නේ. බස් රථය පල්ලමටයි ධාවනය වෙමින් තිබී ඇත්තේ. ලොරි රථය කන්ද නගිමිනුයි තිබුණේ. බස් රථයේ රියදුරුට මේ තැන ගැන හොද දැනීමක් තිබෙනවා. හරිනම් ඔහු ලොරි රථයට ඉඩදී බස් රථය නතරකර ගන්න තිබුණා. එසේ වුනා නම් මෙවන් අවාසනාවන්ත අණතුරක් සිදුවන්නේ නැහැ.“ යැයිද එම නිලධාරියා කීය.
බස් රථයේ රියදුරා ජංගම දුරකතනයකින් ඇමතුමක් ලබා ගනිමින් බස් රථය ඒ අවස්ථාවේදී ධාවනය කළ බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන්ද පොලීසිය විමර්ශනයක් සිදුකර තිබේ. එහිදී පෙනී ගොස් ඇත්තේ ඔහුගේ ජංගම දුරකතනයේ සිම්කාඩ්පත් දෙකක් ඇති බවත් එම සිම්කාඩ්පත් දෙකෙන්මබ ඇමතුම් ලබාගෙන නොමැති බවය. නමුත් අධිකරණ නියෝගයක් ලබා ගනිමින් එම සිම්පත් දෙකට අදාල දුරකතන සමාගම්වලින් දුරකතන වාර්තාවක් ලබා ගැනීමට මේ වන විටත් පියවර ගෙන ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරයත් සදහන් කළේය.
මේ අතර ජාතික ගමනා ගමන කොමිසම විසින්ද මෙම අනතුර සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ත්‍රී පුද්ගල කමිටුවක් පත්කර තිබේ. එම කමිටුව විසින් සිය වාර්තාව ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේ මහතාට සිය වාර්තාව භාර දී ඇත. එදින බස් රථය ධාවනය වීමට නියමිතව තිබී ඇත්තේ පෙරවරු 6.50 ට වූවත් කාල සටහන උල්ලංඝනය කරමින් පෙරවරු 6.30 ට බස් රථය කොළඹ බලා ධාවනය වී ඇතැයි එම කමිටු වාර්තාවේ සදහන්ය.