තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කිසිවකුගේ ඇස නොගැටුණු පුරාවිද්‍යා ස්ථාන ඇතිනම් සොයාබලන්නැයි අගමැති උපදෙස්

    කිසිවකුගේ ඇස නොගැටුණු පුරාවිද්‍යා ස්ථාන ඇතිනම් සොයාබලන්නැයි අගමැති උපදෙස්

    මෙතෙක් කිසිවෙකුගේ ඇස නොගැටුණු පුරාවිද්‍යා ස්ථාන මෙරට ඇති බව තමන්ගේ විශ්වාසය බව ප්‍රකාශ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ඒවා පිළිබඳව සොයා බලා අවධානය යොමු කරමින් නිසි ක්‍රියාමාර්ග ගන්නැයි අගමැතිවරයා අද අදාළ නිලධාරීන් දැනුවත් කළේය.

    ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා සියලුම පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට මාර්ගගත ක්‍රමයට එක් ප්‍රවේශපත්‍රයක් නිකුත් කරන්නැයි ද ඒ සඳහා සංචාරක මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් අවසන් තීරණයකට එළැඹෙන ලෙස ද හෙතෙම දැනුම් දුන්නේය.

    එකම ප්‍රදේශයේ දී පුරාවිද්‍යා කෞතුකාගාර කිහිපයක් වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට සිදුවීමෙන් දේශීය සංචාරකයන් ද විවිධ අපහසුතාවලට ලක්වන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, යම් පුරාවිද්‍යා කලාපයක කෞතුකාගාර සියල්ල ආවරණය වන පරිදි එක් ප්‍රවේශපත්‍රයක් සාධාරණ මිලකට හඳුන්වා දෙන්නැයි කියා සිටියේය.

    මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පංච පුද්ගල කමිටුව අදාළ වාර්තාව අද (07) දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේ දී භාර දුන්හ.

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පංච පුද්ගල කමිටුව පත්කර තිබිණි.

    මෙම වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම මඟින් ඉදිරියේ දී මධ්‍යම සංස්කෘතික අරමුදල එහි අරමුණු සාක්ෂාත් කරගත හැකි වඩාත් ඵලදායී ආයතනයක් බවට පත් කළ හැකිවනු ඇතැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී විශ්වාසය පළ කළේය.

    ඒ අනුව වාර්තාවේ සඳහන් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අදාළ නිලධාරීන්ට අග්‍රාමාත්‍යවරයා මෙහි දී උපදෙස් දුන්නේය.

    ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නිලූෂා බාලසූරිය, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රියංග නානායක්කාර, තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එඩ්වඩ් පීරිස් සහ එම දෙපාර්තමේන්තුවේම සහකාර අධ්‍යක්ෂ මධුෂානි වර්ණසූරිය මහත්ම මහත්මීහු කටයුතු කළහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img