fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හැංගූ වත්කම් ගැන නිරූපමා රාජපක්ෂගේත් නම තිබූ 'පැන්ඩෝරා' හෙළිදරව්ව

    හැංගූ වත්කම් ගැන නිරූපමා රාජපක්ෂගේත් නම තිබූ ‘පැන්ඩෝරා’ හෙළිදරව්ව

    රටවල් 90 කට වැඩි ගණනක වත්මන් ‍හා හිටපු දේශපාලනඥයින් සහ අනුබද්ධ නිලධාරින් 300 කට වැඩි සංඛ්‍යාවක් විසින් තම රටවල බදු අයකිරීම්වලින් නිදහස් වීමේ අරමුණැතිව වත්කම් තැන්පත් කළ අයගේ නම් ඇතුළත්, ඉතිහාසයේ වඩාත්ම පුළුල් රහසිගත ලිපිගොනු තොගයක් ‘පැන්ඩෝරා පත්‍රිකා- පවර් ප්ලේයර්ස්’ නමින් ‍ආන්දෝලනාත්මක ලෙස හෙළිදරව් වී ඇති අතර එහි ශ්‍රී ලංකාවේ අයකු ලෙස ඇතුළත්ව ඇත්තේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සහ ඇගේ සැමියාගේ ගනුදෙනු හා වත්කම් පිළිබඳව ය.

    පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් දේශපාලනඥයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට විවිධ රහස්‍ය බල සීමා 24 ක සමාගම් තිබු අතර එම ලැයිස්තුවේ ද නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නම සඳහන් වේ. ඒ අනුව එක්සත් අරාබි එමිරේට්ස්, සයිප්‍රස්, අරාබි එමිරේට්ස් එක්සත් යන නම්වලින් හැඳින්වෙන රහස්‍ය බලසීමාවල ද සමාගම් ඇති බවට සඳහන් කර ඇත.

    මෙම අනාවරණය කර ඇත්තේ මීට පෙර පැනමා පත්‍රිකා ආදිය මගින් වරින් වර ලොව පුරා දේශපාලකයන්, ව්‍යාපාරිකයන් ආදින් රහසිගතව මුදල් සැඟවූ ස්ථානවල තතු හෙළි කරන ලද අන්තර්ජාතික ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුව (ICIJ) විසිනි. ස්වාධීන කණ්ඩායමක් ලෙස මෙවැනි හෙළිදරව් කිරීම් කරන එම එකමුතුවට රටවල් ගණනාවක ජනමාධ්‍යවේදීන් 600කට වැඩි පිරිසක් ඇතුළත් වන අතර පැනමා පත්‍රිකා හෙළිදරව්ව වනවිට එහි මෙරට මාධ්‍යවේදියකු ද මෙම එකමුතුවේ වාර්තාකරුවකු ලෙස කටයුතු කළේය.

    බදු නොගෙවන පාරාදීස හෙවත් බදු තෝතැන්නක් (Tax heavens) යනු විදේශීය ව්‍යාපාර සහ පුද්ගලයින්ට, තම වත්කම් සඳහා අවම හෝ බදු වගකීමක් ලබා නොදෙන රටක් හෝ ආර්ථික වශයෙන් ස්ථාවර පරිසරයකි. ආයතන හෝ වේවා පුද්ගලයන් හෝ වේවා ඉතා ධනවත් අයගේ කළු සල්ලි හෝ සුදු සල්ලි හෝ ඕනෑම ආකාරයේ ධන සම්භාරයන්ට මෙම රටවල හෝ මුල්‍ය ආයතනවල බදු වාසි ලබාදෙන අතර නීති විරෝධී ලෙස තම රටවල බදු ආදායම්වලින් රිංගා යාමේ තෝතැන්නක් සකසා ඇති බැවින් ඊට බදු තෝතැන්නක් යන අර්ථ ගැන්වෙන නමකින් හැඳින්වේ.

    පැන්ඩෝරා පත්‍රිකා ඔස්සේ මෙලෙස හෙළිදරව් වූ පුද්ගලයන් අතරට රට රටවල බදුවලින් රිංගා යාමට ධනවතුන්ට සහය දැක්වීම වෙනුවෙන්ම ස්ථාපනය කරන ලද සමාගම්වල සහාය ඇතිව රහස්‍ය කොන්දේසි යටතේ, රහසිගත මූල්‍ය පද්ධතියක වත්කම් ගබඩා කිරීමට ඉඩ සලස්වයි. කෙසේවෙතත් බදු තෝතැන්නක් ලෙස නම් කෙරෙන මෙවැනි අක්වෙරළ සමාගම්වල නීත්‍යානුකූල භාවිතයන් ද ඇති බව ICIJ පවසයි. එබැවින් මෙම ලැයිස්තුවට ඇතුළත් පුද්ගලයින්, සමාගම් හෝ වෙනත් ආයතන, නීතියට පටහැනි හෝ වෙනත් ආකාරයකින් ඉපැයූ මුදල්, අක්වෙරළ ක්‍රියාකාරකම්වල යොදා ඇතැයි හෝ අනිසි ලෙස ක්‍රියා කළ හෝ නොකළ බව යෝජනා කිරීමට හෝ ඇඟවීමට තමන් අදහස් නොකරන බව ද ICIJ පවසයි.

    මිලියන 11.9 කට වැඩි මෙම රහස්‍ය ලිපි ගොනු ප්‍රමාණයක් පෙන්නුම් කරන්නේ ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, රාජකීයයන්, තේරී පත් වූ නිලධාරීන් සහ ඔවුන්ගේ සමහර පවුලේ සාමාජිකයින් සහ සමීපතම හිතවතුන් – රහස්ය බලතල යටතේ සමාගම් පිහිටුවන සමාගම්වල ආධාරයෙන් රහසිගත මූල්ය පද්ධතියක වත්කම් ගබඩා කර තබන ආකාරයයි. දත්ත වලින් අනාවරණය කරගත් විශාලතම දේශපාලන නම් ලැයිස්තුව මෙය බව ICIJ කියාසිටී.

    නිරූපමා රාජපක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන අතර 2010 සිට 2015 දක්වා ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය ඇමති ලෙසද කටයුතු කළාය. ICIJ හෙළිදරව්වේ දැක්වෙන පරිදි, ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් උපදේශකයෙකු සහ හෝටල් ව්‍යවසායකයෙකු ලෙස සේවය කර ඇති බව ඔහුගේ සමාගම් වෙබ් අඩවියේ චරිතාපදානයකට අනුව සඳහන් වේ. 2016 දී, දේපල වෙළඳාම් සම්බන්ධයෙන් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වූ අතර නඩුව විභාග වෙමින් පවතින බවත් ICIJ පවසයි.

    නිරුපමා රාජපක්ෂ සහ නඩේසන් එක්ව ලන්ඩනයේ සහ සිඩ්නි හි සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීමට සහ ආයෝඡනය කිරීමට භාවිතා කළ බලශක්ති සමාගමක් පාලනය කළ බව කාන්දු වූ ලිපිගොනු වල දැක්වේ. නඩේෂන් වෙනත් බලශක්ති සමාගම් සහ රහසිගත අධිකරණ බලතල පිහිටුවන ලද අතර, ඔහු ඒවා භාවිතා කරමින් ශ්‍රී ලංකා රජය සමඟ ව්‍යාපාර කරන විදේශ සමාගම්වලින් ලාභ උපදේශන කොන්ත්‍රාත් ලබා ගැනීමට සහ කලා කෘති මිලදී ගැනීමට භාවිතා කළ බව එහි දැක්වේ. 2018 දී, එක් සමාගමක් වන පැසිෆික් වෙළඳ භාණ්ඩ, සිතුවම් 31 ක් සහ අනෙකුත් දකුණු ආසියානු වටිනා කලා කෘති ජිනීවා  වෙත මාරු කරන ලද අතර එමඟින් වත්කම් බදු හෝ බදු වලට යටත් නොවී කටයුතු කොට ඇතැයි එහි සඳහන් ය.

    2011 වන විට නඩේෂන්ගේ සමස්ත ධනය ඩොලර් මිලියන 160 කට වඩා වැඩි බවත් ICIJ ට ස්වාධීනව එම අගය තහවුරු කර ගැනීමට නොහැකි වූ බවත් සඳහන් වෙයි. ICIJ විශ්ලේෂණයකට අනුව, නඩේෂන්ගේ සමහර අක්වෙරළ සමාගම් සහ භාර කළමනාකරණය කළ වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 18 ක් පමණ වේ. ඔහුගේ බිරිඳගේ දේශපාලන තත්ත්වය හේතුවෙන් සමාගම ඔහුව දේශපාලන වශයෙන් සම්බන්ධ පුද්ගලයෙකු ලෙස ලැයිස්තු ගත කර ඇත. 2016 දී නඩේසන් වංචා කිරීමේ චෝදනාවට ලක් වූ බව ද එහි සඳහන් ය. නිරූපමා රාජපක්ෂ සහ නඩේසන් ඔවුන්ගේ අදහස් සහ සමාගම් පිළිබඳව සිය ප්‍රශ්න වලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ බව ද ICIJ පවසයි.

    අන්තර්ජාතික ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුව විසින් කරන ලද මෙම අනාවරණ මඟින් කලක් තිස්සේ ඉහළ පෙළේ දේශපාලනඥයින් 3300 කට වැඩි සංඛ්‍යාවක් හෝ ඔවුන්ගේ ඥාතීන් හෝ සමීප ඥාතීන් විසින් අක්වෙරළ සමාගම් භාවිතා කිරීම පිටුපස ඇති කථා ගවේෂණය කරයි.

    පැන්ඩෝරා පත්‍රිකා ඔස්සේ අනාවරණය කර ඇති තොරතුරු 2021 ඔක්තෝබර් 3 වෙනිදා වන විට ක්‍රියාකාරිව තිබූ තොරතුරු ය. ඒවායින් බොහොමයක් 1996 සහ 2020 අතර කාලය තුළ නිර්මාණය කරන වත්කම් ලිපිගොනු ය. පැන්ඩෝරා ලිපි ලේඛන පරීක්‍ෂණයට පදනම් වූ ලිපි ලේඛන දශක පහක් පුරා කාන්දු වූ ලිපිගොනුවල තතු ඇතුළත් ය.

    පැන්ඩෝරා හෙහළිදරව්වට පෙර පැනමා පේපර්ස්, සීෂෙල්ස් ආදි හෙළිදරව් ගණනාවක් ද මොවුන් විසින් කර තිබුණි. කුඩා දූපත් රාජ්‍යවල මෙවැනි අවස්ථාව වැඩි වශයෙන් ලබාදී තිබෙන අතර මෙම හැකියාව ලබාදී ඇත්තේ එවැනි දූපත් රාජ්‍යවල පමණක් නොවේ. ඉතා බලවත් රටවල පවා එම හැකියාව ලබාදී ඇති අවස්ථාව හමුවේ. අමෙරිකාව, ස්විස්ටර්ලන්ය, හොංකොං, සිංගප්පූරුව, ජපානය, එක්සත් අරාබි එමීරයේ ද එවැනි බදු නොගෙවන පාරාදීස සැඟවී සිටින රටවලින් කීපයකි.

    සම්පූර්ණ ලැයිස්තුව මෙතැනින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.