නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිලියක ඇටවූ බෝම්බය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොළඹ අපරාධ කොට්ඨාශය අද ඒ සම්බන්ධයෙන් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් උප්පුවේලි හීදී අත්අඩංගුවට ගෙන තිබේ.
රෝහලේ තැබූ බෝම්බය පිපිරවීමක් සදහා ලබාදී ඇත්තේ එම එල්.ටී.ටී.ඊ. සාමාජිකයා බව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව හෙළිවී ඇත. කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි ඇමති නිල නිවස අලුත් වැඩියා කරන අවස්ථාවේදී බෝම්බය තබා ගැනීමට ස්ථානයක් නොමැතිව එහි මේස ලාච්චුවක දමා තිබී ඇත්තේ බෝම්බය රෝහල් වැසිකිලියේ තැබීම සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගත් සැකකරු බව ද හෙළිවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. එම සැකකරු තමා සමග සේවය කළ සිංහල තරුණයෙකුට පෙන්වමින් කර ඇත්තේ සැකයක් ඇති නොවන ලෙසට රඟපෑමක් බවද මේ වන විට තහවුරු වෙමින් ඇතැයිද එම නිලධාරියා පැවසීය. එහෙත් මේස ලාච්චුවට පතොරම් ආ හැටි මෙතෙක් හෙළිවී නැත.
අද අත්අඩංගුවට ගත් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයා එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පැවති ඉම්රාන් පාණ්ඩියන් බලකායේ සිටි අයෙක් බව ද විමර්ශන වලින් අනාවරණය වී තිබේ. එම එල්.ටී.ටී.ඊ. සාමාජිකයා පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීම හා ගිනි අවි භාවිතය පිළිබදව ප්‍රදේශයේ තරුණයින් කිහිප දෙනෙකුටම පුහුණුව ලබාදී ඇතැයිද ඒ අතර රෝහලේ බෝම්බය තැබූ සැකකරුද සිට ඇති බවද විමර්ශන වලින් තහවුරුවී ඇත.
කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගොස් නොමැති බව ඔහුගෙන් පුහුණුව ලැබූ තරුණයින්ට ඔහු ඒත්තු ගන්වා ඇතැයිද සදහන්ය. යුද්ධය දරුණුවට පවතින අවස්ථාවක ප්‍රභාකරන් රැවුල් කපාගෙන සිටීමම විහිළුවක් බවත් එදා මිය ගියේ ප්‍රභාකරන් නොවන බවත් සදහන් කරමින් පුහුණුව ලැබූ තරුණයින් රවටමින් ත්‍රස්ත ක්‍රියා සදහා පෙළඹවීමක් කර ඇතැයි ද විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.
රෝහලේ බෝම්බය තැබූ සැකකරු මුලින් පවසන්නේ බෝම්බය රෝහලේම තිබී හමුවූ බවකි. පසුව ඔහු පවසන්නේ විජේරාම මාවතේ නිවසින් හමුවූ බෝම්බය සහ පතොරම් මාස තුනක පමණ කාලයක් තබාගෙන සිට රෝහල් වැසිකිලියේ තබා එය ආරක්ෂක අංශවලට හසුකර දී ප්‍රසිද්ධියක් සහ මුදල් ත්‍යාගග ලබාගැනීම අරමුණ වූ බවය. බෝම්බය ඇටවීමට පුහුණුව ලැබුවේ අන්තර් ජාලයෙන් සහ සඟරාවකින් බවද ඔහු කීවේය. එහෙත් දැන් හෙළිවන්නේ ත්‍රිකුණාමලයේ සිට බෝම්බය කොළඹට රැගෙන විත් පිපිරවීමට අවස්ථාවක් ලැබෙන තුරු බලා සිට අවසානයේදී රෝහල් වැසිකිලියේ පිපිරවීමට තීරණය කර ඇති බවය.
අත්බෝම්බය කාල බෝම්බයක් ලෙස ඔහු අටවන්නේ පුපුරා යාමට වූවත් මදුරු කොයිල් එක නිවී යාමෙන් සැළසුම්කළ පරිදි පිපිරීම සිදු නොවීම නිසා ආරක්ෂක අංශයට බෝම්බය ගැන පවසා ඇති බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත. මෙසේ අත්බෝම්බයක් කාල බෝම්බයක් ලෙස සකස් කිරීමට දින 06 ක පුහුණුවක් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගෙන් ඔහු ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබේ. උප්පුවේලි හී පිහිටි කෝවිලක් පිටිපස පිහිටි කැළෑබද ප්‍රදේශයකදී එම පුහුණුව ලබාදී ඇති බවද හෙළිවී ඇත.
මේ වන විට රාජ්‍ය බුද්ධි සේවයද මෙම විමර්ශනයට සම්බන්ධව සිටින අතර සැකකරන්නේ හිටපු එල්.ටී.ටී. ඊ. සාමාජිකයා පිටුපස තවත් පිරිසක් සිටින බවකි. එම පිරිස එම එල්.ටී.ටී.ඊ. සාමාජිකයාව මෙහෙයවන බවට සැකයක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන්ද මේ වන විට පුළුල් විමර්ශනයක් අරම්භකර ඇති බව සදහන්ය.