රට පුරා රෝහල් තුළදී පමණක් වයස අවුරුදු 15 – 19 අතර වයස් කාණ්ඩයේ දරුවන් සියලුදෙනාට ෆයිසර් එන්නත ලබාදීම කඩිනමින් අවසන් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයා එම උපදෙස් දුන්නේ විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුවය. ඒ පිළිබඳ දෙමාපියන් නිවැරදිව දැනුවත් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණයට එළැඹිණ.
දරුවන් එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා විමසා සිටී අවස්ථාවේදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ එහිදී දීර්ඝකාලීන රෝගාබාධවලින් පෙළෙන වයස අවුරුදු 12-19 අතර වයස් කාණ්ඩවල දරුවන් එන්නත්කරණයට ප්‍රමුඛතාව ලබාදීමට සෞඛ්‍ය විශේෂඥ කමිටුවේ නිර්දේශය ලැබී ඇති බවයි.
සායනික විශේෂඥ වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට යටත්ව දෙමාපියන්ගේ අවසරය ඇතිව අදාළ සායන තුළදීම පමණක් ඔවුන් එන්නත්කරණය කිරීමට සැලසුම් කර තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
වයස අවුරුදු 12-15 අතර වයස් කාණ්ඩවල නිරෝගී දරුවන්නට එන්නත ලබාදීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා විශේෂඥ වෛද්‍ය කමිටුවෙන් කරුණු විමසූ අතර විශේෂඥ කමිටුව පෙන්වා දුන්නේ ලෝකයේ සෙසු රටවල් තවමත් ඒ සඳහා යොමුව නොමැති බවත්, දැනට වයස අවුරුදු 15 – 19 අතර වයස් කාණ්ඩයේ සියලුදෙනාට එන්නත ලබාදීම නිර්දේශ වී ඇති බවත්ය.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔක්තෝබර් 01 වනදා නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට ද රජය සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය කෙරිණි.
තරුණ තරුණියන් එන්නත්කරණයේ දී තෝරාගත් එන්නත් පමණක් බලාපොරොත්තුවන තත්ත්වයක් දක්නට ලැබෙන බවත්, විශේෂ එන්නතක් මෙතෙක් හඳුන්වා දී නොමැති අතර සියලු එන්නත් ගුණාත්මකභාවයෙන් යුක්ත බවත්, ඒ අනුව විශේෂ එන්නතක් ලැබෙන තුරු බලා නොසිට සියලුදෙනා එන්නත්කරණයට යොමු විය යුතු බවත් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය නිලිකා මලවිගේ යන මහත්ම මහත්මීහු පෙන්වා දුන්හ.
සංකූලතා සහිත පශ්චාත් කොවිඩ් රෝගීන් ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ඒ සඳහා ග්‍රාමීය ආයුර්වේද රෝහල්වල පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වැනි අත්‍යාවශ්‍ය මහජන සේවා සපයන ආයතනවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ සඳහා ආයතන ප්‍රධානීන් තීන්දු තීරණවලට එළැඹිය යුතු බවද සඳහන් කළේය.
පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ වුවද මේ වසරේ පළමු සහ දෙවන කාර්තුවල ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට හැකි වූ බව සඳහන් කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් කැපවූ සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු සියලු පාර්ශ්වයන්ට ස්තූතිය පළ කළේය.
ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාවලිය අඩාල නොවන ආකාරයට අත්‍යාවශ්‍ය සේවාවන් පෙර පරිදිම පවත්වාගෙන යාමට උපදෙස් දුන් ජනාධිපතිතුමා සියලු ආර්ථික මධ්‍යස්ථාන ආඛණ්ඩව විවෘතව තැබීමට ද දැනුම් දුන්නේය.
සිසුන් 200ට අඩු ග්‍රාමීය පාසල් කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි ද අද සාකච්ඡවේ දී විශේෂ අවධානය යොමු විය. එහිදී පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් අධ්‍යාපන අමාත්‍යාංශය සමග මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා අවධාරණය කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සෞඛ්‍ය නිර්දේශ පිළිබඳ දෙමාපියන් සහ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන්වල වැදගත්කම ද පැහැදිළි කෙරිණි.
ජනතාව එන්නත්කරණයට උනන්දු කරවීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රධාන වගකීමක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වෙත ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එසේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සහ ස්වයං රැකියාවල නියැළෙන්නන්ට බාධාවකින් තොරව සිය ජීවනෝපාය මාර්ග කරගෙන යාමට අවශ්‍ය මගපෙන්වීම ලබාදීම ද මෙම අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට පැවරෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු නොකරන සහ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය.
අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , සිසිර ජයකොඩි, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්ම මහත්මීහු සහ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයෝ, පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරු සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.