තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එජනිසට යළි පණදෙන්න නායකයෝ ලෑස්තියි

    එජනිසට යළි පණදෙන්න නායකයෝ ලෑස්තියි

    එක්සත් ජනතා නිදහස් සන්ධානය යළිත් අළුගසා දමා නැගිටීමට කාලය උදාවී ඇති බවත් නව ප්‍රතිපත්ති මාලාවත් සමග බුලත්කොළය යටතේ පණ ගන්වා නව මුහුණුවරකින් ගොඩ නැගිය යුතු බවත් හිටපු ජනාධිපති හා ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ඔහුගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (15) මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වූ ශ්‍රීලනිප ප්‍රධානීන් සහ සෙසු හවුල්කාර පක්ෂ නායකයන් විසින් පක්ෂය ‍යළි අලුතින් ගොඩනැංවීම සඳහා වන වැදගත් තීන්දු රැසක්ම ගෙන ඇත.

    අදට ගැලපෙන අයුරින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අලුතින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිර්මාණය කිරීමත් සන්ධානය ශක්තිමත් කිරීමත්, එහිදී සියලු දෙනාගේ කැමැත්ත අනුව තීරණය වී තිබේ.

    ගෝලීය වසංගත තත්ත්වය හා රට මුහුණ දී තිබෙන බරපතල ආර්ථික අර්බුදය පිළිබඳව මනා අවබෝධයෙන් ඉදිරියේදී දේශපාලන තීන්දු, තීරණ ගත යුතු බවද මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එහිදී පවසා තිබේ.

    මහජන එක්සත් පෙරමුණේ නායක හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත්තේ සෙසු හවුල්කාර පක්ෂවල නායකයන්ගේ යෝජනාද අතිශය වැදගත් වන බැවින්, ඒ සියලු දෙනාද ඉදිරියේදී සම්බන්ධකර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගමන්මග තීරණය කළ යුතු බවය.

    ශ්‍රීලනිප උප සභාපති තිලංග සුමතිපාල මහතා විසින් විධායක කමිටුවට ගෙන ආ රට ගොඩනැංවීම පිණිස සමාජීය, සංස්කෘතික සහ නව ආර්ථික ප්‍රතිපත්තිවලින් සමන්විත නව ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිර්මානය කිරීම පිළිබඳ යෝජනාව විධායක කමිටුවේ සියලු දෙනා විසින්ම ඒකමතිකව පිළිගෙන ඇත.

    ශ්‍රීලනිප යෝජනා මෙන්ම සෙසු දේශපාලන පක්ෂයන්හි යෝජනාද ඉදිරි සති දෙක ඇතුළත ලබා ගැනීමට තීරණය කර ඇත.

    ලොවම වෙලාගත් කොවිඞ්- 19 වසංගතය හමුවේ යල්පැනගිය ප්‍රතිපත්ති මත හිඳගෙන රාජ්‍ය පාලනය කිරීම නුසුදුසු බවත්, ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් රට ගොඩනැංවිය හැකි බටහිරට ගැති නොවූ ස්වදේශික ප්‍රතිපත්ති ප්‍රකාශයක් , මහජන මිත්‍රශීලීව නිර්මාණය කිරීමට කාලය එළඹ ඇති බවත්, සහෝදර පක්ෂද ඒකරාශී කරගනිමින් ඊට නායකත්වය දියහැකි ජනතා විශ්වාසය දිනාගත හැකි දේශපාලන සන්ධානය “එක්සත් ජනතා නිදහස් සන්ධානය” බවත් එහිදී මේ යෝජනාව ගෙන එමින් තිලංග සුමතිපාල මහතා පවසා ඇත.

    මෙම රැස්වීම ආරම්භයේදීම ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක ආරුගම් තොණ්ඩමාන්, හිටපු අමාත්‍ය මංගල සමරවීර හා දේශවිමුක්ති ජනතා පක්ෂයේ පී.ඇම්. පොඩිඅප්පුහාමි යන මහත්වරුන් සිහිපත් කරමින් රැස්ව සිටි සියලු දෙනාම ශෝකය පළ කිරීමක්ද සිදුකර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img