මෙරට තුළ විදේශ ණය අඩුකිරීමට සහ විදේශ සංචිතය වැඩිකරගැනීම ඉදිරි කාලයේදී මූලික අවධානය යොමු කරන කරුණු අතර ප්‍රමුඛත්වය ගන්නා බව මෙරට 16 වන මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) වැඩ භාර ගනිමින් පැවැසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කරනු ලැබීය.
වැඩභාරගැනීමෙන් අනතුරුව මහබැංකුවේ ඉදිරි සැලැස්ම පිළිබද හා තම අරමුණු පිළිබද අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙරට තුළ ණය නොවන විදේශ මුදල් ගලාඒමට පසුබිමක් සකස් කළ යුතු බවයි.
එමෙන්ම දළදේශීය නිෂ්පාදිතය හා දේශීය ආදායම් වැඩිකරගැනීමට ද පියවර ගත යුතු බව හෙතෙම අවධාරණය කළේය.
” මෙම රාජකාරිය මට පවරන්නට එපා කියලා මම ජනාධිපතිවරයාට කීපසැරයක්ම කිව්වා. එතුමත් මට කීපසැරයක්ම භාරගන්න කියලා කිව්වා. අන්තිම වතාවට එතුමා කිව්වා මේක භාරගන්නමයි කියලා. ඉතින් මම පාර්ලිමේන්තුවෙනුත් අයින්වෙලා. රාජ්‍ය අමාත්‍යධුරයෙනුත් අයින්වෙලා. නැවතවරක් මෙම සේවයට එතුමාගේ ඉල්ලීම මත පිවිසෙන්න තීරණය කළා.
අනිත් අයටත් වඩා හොඳට මෙම වගකීම භාර ගන්නකොට තිබෙන අමාරුව මම දන්නවා. සැහෙන කටු ඔටුන්නක් ලෙස මම දකින්නේ.
මට මතකයි 2006දී එනකොටත් රටේ ආර්ථිකය යම් දුර්වල මට්ටමක තිබුණා. උද්ධමනය ඩබල් ඩිජිට් ගිහින් තිබුණේ. මට මතකයි එතකොට හිටපු නියෝජ්‍ය අධිපතිවරු මට කිව්වා, “ගවනර් මේක උත්සහ කරන්නවත් එපා,” කියලා. ඒ වුණාට අපි ඒක කළා. උද්ධමනය අපි අඩු කළා. ඊට පස්සේ මම 12වෙනියා හැටියට මහ බැංකුවෙන් අයින් වෙලා යනකොට විදේශ සංචිත තිබුණා අමෙරිකානු ඩොලර් බිලියන 10.2ක පමණ මුදලක්.
අද එනකොට විදේශ සංචිත තියෙන්නේ ඩොලර් බිලියන 4යි. ඊට අමතරව තවත් බිලියන එකහමාරක් විතර තියෙනවා චීන බැංකුවේ. රුපියලේ අගය පිරිහිලා තිබෙනවා. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය සහ ලොක්ඩවුන් එක නිසා විරැකියාව වැඩි වේලා. දිළිඳුකමත් වැඩිවෙලා තියෙනවා. ඒ් නිසා අපිට අභියෝග රැසක් තිබෙනවා.
විදේශ සංචිත වැඩිකර ගන්න බලාපොරොත්තු වෙනවා. විදේශ ගිණුම පාලනයකර ගන්න අවශ්‍යයි. ඒකත් අපි කරන්න බලාපොරොත්තුවෙනවා. දළ දේශිය නිෂ්පාදිතය වර්ධනය කර ගන්නත් අවශ්‍යයි. යටිතල පහසුකම් සංවර්ධනය කරන්නත් අවශ්‍යයි. රුපියලේ අගය පවත්වාගෙන යන්නත් අවශ්‍යයි. ඒ් සියලු දේවල්ම අප කළ යුතුයි. ඉතින් ඒ නිසා එහෙම කරන්නට නම් මේ පරස්පර විරෝධී කටයුතු පවිච්චිකරගෙන අපිට කරන්නට සිදුවෙනවා යම් කිසි තුලනයක් ලබා ගැනීමට.
ඉදිරි මාසය , මාස 2ක,3න 6ය තුළදී මේ තුලනය ඇතිකරගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපිට තියෙන්නේ. ඊළඟ විශේෂ අභියෝගය හැටියට. ඒක ලෙසි වැඩක් නෙමෙයි කියලත් මම දන්නවා. මම හිතන්නේ අපි හැමෝම එකට එකතු වෙලා ගියොත් අපිට ඒක කරන්න පුළුවන් වෙනවා.”
වරලත් ගණකාධීකාරීවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.
අවස්ථා දෙකකදී මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ එකම පුද්ගලයා වන්නේද අජිත් නිවාඩ් කබ්රාල් මහතාය.
වත්මන් රජයේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු පසුගියදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණි.