තවත්
    මුල් පිටුවspecial9/11ට අදට 20 යි

    9/11ට අදට 20 යි

    ඒ අදට විසිවසකට පෙර අද වැනි දිනකය.
    එනම් 2001 වසරේ සැප්තැම්බරයේ 11 වැනි, අඟහරුවාදා ය. එදා ලෝකයම තම ආරක්ෂාව ගැන දෙවරක් හිතන්නට පෙළඹුණු බිහිසුණු සිද්ධියට මුහුණ පෑවේ ලෝක බලවතා වූ අමෙරිකාව ය.

    ඇමරිකාවට පමණක් නොව මුළු ලොවටම බලපෑ, ශතවර්ෂය තුළ සිදුවූ දරුණුතම සිද්ධිය ලෙස එය තවමත් වර්තාගතය.

    එක්සත් ජනපදයේ නැගෙනහිර අහසේ පියාසර කෙරෙමින් තිබූ ගුවන් යානා හතරක් එකවර පැහැරගැනීමට ලක් වූයේ
    අමෙරිකාවේදීම ගුවන් නියමුවන් පුහුනු පාසලකින් පුහුණුව ලැබූ නියමුවන් 4කින් සමන්විත 19 දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායමකි.

    නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳපොල ද්විත්ව ගොඩනැගිල්ලට ගුවන් යානා දෙකක් ගැටීමට සැලැස්විය.

    පළමු යානය ගැටුණේ උතුරුදිග කුළුණට උදෑසන 08;46ට ය. (ග්‍රිනිච් වේලාවෙන් 13:46) දෙවන යානය දකුණුදිග කුළුණෙහි ගැටුණේ උදෑසන 09:03ට ය.

    ගොඩනැගිල්ලට ගිනි ඇවිල නගරය දුමෙන් වැසුණි. දෙපැයක් ගතවන්නට පෙර මහල් 110කින් සමන්විත ද්විත්ව ගොඩනැගිල්ල බිමට සමතලා විය.

    උදෑසන 09:37ට තවත් ගුවන් යානයකින් ලොව වැඩිම ආරක්ෂාවක් සහිත ආරක්ෂක මර්මස්ථාය ලෙස සැලකූ අමෙරිකානු ආරක්ෂක මධ්‍යස්ථානය වූ පෙන්ටගනයට ප්‍රහාර එල්ල විය.

    පැහැර ගැනීමට ලක්වූ හතරවැනි යානයේ සිටි මගීන් පැහැර ගත්තවුන්ට එරෙහිව යානය තුළදී ම සටන් වැදුනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම යානය පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිට්ටනියකට කඩා වැටුණේ ප්‍රහාරකයන්ගේ එක් සැලස්මක් අවුල් කරමිනි. එම යානය වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලේ ගැටීමට සැලැස්වීම පැහැරගත්තවුන් ගේ අරමුණ වී තිබුණු බවට පැවසේ.

    ප්‍රහාරකයන් 19 දෙනා හැර පුද්ගලයින් 2,977 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

    ගුවන්යානා හතර තුළ සිටි සියලුම මගීන් සහ කාර්ය මණ්ඩල මරණයට පත් වූහ.
    නිව්යෝර්ක් නුවර ද්විත්ව ගොඩනැගිල්ලට එල්ලවූ ප්‍රහාරයෙන් 2,606 දෙනෙක් මරණයට පත් වූහ. පෙන්ටගනයට එල්ල වූ ප්‍රහාරයෙන් 125 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

    පළමු ගුවන් යානය ද්විත්ව ගොඩනැගිල්ලෙහි ගැටෙන අවස්ථාවේ දී එම ගොඩනැගිල්ල තුළ 17,400 දෙනෙකු පමණ සිටි බවට ඇස්තමේන්තු කර තිබේ. පළමු යානය ගැටුණු ස්ථානයට ඉහළින් පිහිටි මහල් තුළ සිටි කිසිවෙකුට දිවි බේරා ගැනීමට නොහැකි විය. නමුත් දෙවැනි යානය දකුණු කුලුනෙහි ගැටීමට පෙර එම යානය ගැටුණු ස්ථානයට ඉහළින් සිටි 18 දෙනෙකු එම ස්ථානයෙන් පහලට දිව යාමට සමත් විය.

    ජීවිතක්‍ෂයට පත්වූවන් අතර රටවල් 77කට අයත් පුරවැසියෝ වූහ. අනතුරට පත්වූවන් බේරාගැනීමේ කටයුතුවල නිරත වී සිටි සේවකයන් 441 දෙනෙකු නිව්යෝර්ක් නුවරට අහිමි විය.

    ඇෆ්ගනිස්ථානයේ සිට මෙම ප්‍රහාරය සැලසුම් කළේ අල් ඛයීඩා නමැති අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම ය.

    ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුක්ත වූ අල් ඛයීඩා සංවිධානයේ චෝදනාව වූයේ මුස්ලිම් ලෝකයේ පවතින ගැටුම් වලට එක්සත් ජනපදය සහ එහි මිත්‍ර පාර්ශව වගකිව යුතු බවයි.

    ප්‍රහාරය සිදු වී මාසයක් ගත වන්නට පෙර එවක ජනාධිපති ජෝර්ජ් බුෂ් ගේ නායකත්වයෙන්, ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේය. මේ සඳහා ජාත්‍යන්තර ඒකාබද්ධ හමුදාවක් යෙදවිණ. එම ආක්‍රමණයේ අරමුණ වූයේ අල් ඛයීඩා ජාලය ලොවින් තුරන් කිරීම සහ බින් ලාඩන් අල්ලා ගැනීම ය.

    2011 පකිස්ථානයේ සැඟව සිටියදී බින් ලාඩන් මරා දැමුණි.

    සැප්තැම්බර් 11 ප්‍රහාරය සැලසුම් කළ බවට චෝදනා ලත් ඛලීඩ් ශේයිඛ් මොහමඩ් 2003 දී අත්අඩංගුවට පත් වූයේ පකිස්තානයේදී ය. එතැන් පටන් ඔහු ග්වන්තනමෝ සිර කඳවුරේ ය. නඩුව අදටත් අවසන් නැත.

    විසි වසරකට පසුව එක්සත් ජනපද හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වූයේ පසුගියදා ය. ඒ තලේබාන් සංවිධානය එහි බලය අල්ලා ගැනීමෙන් පසුය.

    අල් ඛයීඩා සංවිධානය විවිධ රටවල් තුළ පෝෂණය වෙමින්ද ඇතැම් රටවල දුර්වල වෙමින් ද වෙනත් නම් යෙදූ ත්‍රස්ත කණ්ඩායම් ලෙස බිඳී නැවත මතුවෙමින් ද තවමත් ක්‍රියාත්මක ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img