පිළිකාව යනු රෝගීන් කායික මෙන්ම මානසිකවද ඉමහත් පීඩාවට ලක්කරන රෝගයකි. විවිධ වූ ඉන්ද්‍රියයන්ට විවිධ ආකාරයෙන් බලපාන පිළිකාවර්ග සිය ගණනක් ඇති අතර සාමාන්‍යයෙන් එහි බලපෑම ඇතිකරනු ලබන ඉන්ද්‍රිය හෝ පටක හඳුන්වන නාමයෙන් පිළිකාවද හැඳින්වීම සම්මතයකි. එනම් පියයුරු වල ඇති පිළිකා පියයුරු පිළිකා ලෙස ද, මුඛයේ ඇතිවන පිළිකා මුඛ පිළිකා ලෙසින් ද ආදී වශයෙන් නාමකරණය සිදුවේ. කෙසේවෙතත් එය වේලාසනින් හඳුනාගත හැකි වුවහොත් ප්‍රතිකාර ලබාදී සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි බව වෛද්‍ය ක්ෂේත්‍රයෙහි විශේෂඥයන්ගේ මතයයි.
ලොව පුරා සුවහසක් ජනයා හට සතුටු විය හැකි ආරංචියක් පසුගියදා විදේශීය ජනමාධ්‍ය මගින් වාර්තා කොට තිබුණි. එනම් වර්ග 50ක පිළිකා වේලාසනින් හඳුනාගතහැකි සරල රුධිර පරීක්ෂණයක් නිර්මාණය කිරීමට කැලිෆෝනියාවේ ග්‍රේල් (Grail) ආයතනය සමත් වී ඇති බවයි. මෙය ඉතා සරල රුධිර පරීක්ෂණයක් බව පැවසෙන අතර එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය (National Health Service – NHS) මගින් මෙය තම රටට හඳුන්වා දීමට දැනටමත් කටයුතු යොදා ඇති බව පැවසේ. “ගැලෙරි” (Galleri) ලෙස හඳුන්වන මෙම රුධිර පරීක්ෂණය, පළමුව රෝගීන් 165,000කගේ සිදු කිරීමට NHS ආයතනය සූදානම් වන බවට වාර්තාවේ.
පිළිකාවන් හඳුනාගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන, මෙම Galleri රුධිර පරීක්ෂණය හඳුන්වා දුන් Grail ආයතනයට, ලෝ ප්‍රකට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් දෙපොලක් වන මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ වන බිල් ගේට්ස් සහ ඇමේසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බීzසෝස්ද ආයෝජනය කර ඇති බවට වාර්තා වේ. මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් NHS ආයතනයේ ප්‍රධාන විධායක, සයිමන් ස්ටීවන්ස් පවසා ඇත්තේ පිළිකාවන්ට ප්‍රතිකාර කිරීමේදී එය වේලාසනින් හඳුනාගැනීම ඉතා වැදගත් බවත්, විශේෂයෙන්ම ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා (Ovarian Cancer), අග්න්‍යාශය ආශ්‍රිත පිළිකා (Pancreatic Cancer) වේලාසනින් හඳුනාගත හැකි නම්, ඉන් ජීවිත ගණනාවක් බේරාගැනීමට ඉඩ ලැබෙනු ඇති බවයි. සාමාන්‍යයෙන් එංගලන්තයේ, දිනකට 1,000ක පමණ පිරිසක් පිළිකා රෝගීන් ලෙස අලුතෙන් හඳුනාගැනෙන බවට වාර්තා වේ.
මෙම Galleri රුධිර පරීක්ෂණයෙහි සාර්ථකත්වය පිරික්සීම සඳහා 6,689 ක් දෙනෙකු ඇසුරින් සිදු කරන ලද මූලික පර්යේෂණයක දී විවිධ වර්ධන අවස්ථාවල පවතින පිළිකා වර්ග 50ක් පමණ හඳුනාගත හැකි වූ බව පැවසේ. තවමත් පර්යේෂණ මට්ටමේ පැවතියද, මෙමගින් වෛද්‍ය ක්ෂේත්‍රයෙහි විප්ලවීය වෙනසක් සිදු වනු ඇති බවට ඇතැම් වියතුන් මත පළකර ඇත.
(මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)
මෙම ලියුම්කරු විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.