තවත්
    මුල් පිටුවspecialලෝකයේත් ලංකාවෙත් එකවර ඉතිහාසයට එක්වූ රණවිරුවා දිනේෂ්

    ලෝකයේත් ලංකාවෙත් එකවර ඉතිහාසයට එක්වූ රණවිරුවා දිනේෂ්

    ශ්‍රී ලංකා ධඡය අභිමානවත් ලෙස ලෝකය ඉදිරියේ ඉහළට ඔසවා තබමින් මෙරට ක්‍රීඩා ඉතිහාසයේ පළමු පැරාලිම්පික් රන් පදක්කම දිනා රටට මහත් කීර්තියක් අත්කර දුන් දිනේෂ් ප්‍රියන්ත දැන් මුළු රටම කතාකරන චරිතයක් බවට පත්ව හමාරය.

    ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩාවෙන් දිනේෂ් අපේ රටට කීර්තිය අත්කර දෙන්නේ රන් පදක්කමක් පමණක් දිනගෙන නොව, එම ක්‍රීඩා ඉසව්වෙන් ලෝක වාර්තාවක්ද තබාය. රන්පදක්කමෙන් ලද කීර්තිය දෙගුණ තෙගුණ වන්නේ එබැවිණි.

    දිනේෂ් කියන්නේ රණවිරුවෙකි. 2004 වසරේදී දිනේෂ් හමුදා සේවයට එක්වන්නේ මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් ත්‍රස්තවාදීන්ට එරෙහිව කෙරෙන සටනට ඔහු වැනි තරුණයින්ගේ සේවය අත්‍යවශ්‍යම අවස්ථාවකදීය. අනුරාධපුරයේ ඉපලෝගම හැදී වැඩුණු දිනේෂ් එදා හමුදා සේවයට එක්වනවිට ඔහුගේ වසය අවුරුදු 20 ක් වත් නැති තරම්ය. ත්‍රස්තවාදීන්ගෙන් මව්බිම බේරා ගැනීමේ සටනේදී ඉදිරියෙන්ම සිටි දිනේෂ් ත්‍රස්තවාදීන් විසින් එල්ලකල ස්නයිෆ්ර් වෙඩි පුහාරයකට ලක්වන්නේ 2008 වසරේදීය. ඒ කිලිනොච්චියේදීය. එදා ත්‍රස්තවාදීන් තැබූ වෙඩිල්ල වදින්නේ දිනේෂ්ගේ වම් අතටය. ඒ නිසා ඔහුගේ වම් අතේ මාංශ පේෂිවල ශක්තියට ලොකු බලපෑමක් කළේය. ඒ නිසාම වසර 04 ක් වැනි කාලයක් ඔහුට ඒ සදහා ප්‍රතිකාර ගැනීමටද සිදුවිය. ඒ කාලය තුළ යුද හමුදාව වගේම ඔහුගේ ළගින් සිටියේ බිරිදය. වෙඩි වදින විට ඇය සමග ඔහු විවහා වී මාස දෙකක්වත් නැති තරම්ය. ඇය වෙනදාටත් වඩා ඔහුට ශක්තියක් වූවාය. ආබාධිත සෙබල ලැයිස්තුවට දිනේෂ් නම ඇතුලත්වන විට යුද පිටියෙන් ක්‍රීඩා පිටියට දිනේෂ්ව යොමු කරන්නේ ඇයයි. ඒ ඇයද ක්‍රීඩිකාවක් වූ බැවිණි. ඇය කල්පනා කරන්නේ දිනේෂ් ක්‍රීඩාවට යොමු කිරීමෙන් පදක්කම් ගන්නට නොව. මානසිකව ඔහුව ශක්තිමත් කරන්නටය.

    ක්‍රීඩා පිටියට පිවිසි දිනේෂ් ගිනි අවිය වෙනුවට තෝරාගන්නේ හෙල්ලය. වසර ගණනාවක් පුරාවට ඔහු හෙල්ල විසි කිරීමට ප්‍රගුණ කළේය. ඉතා ඉවසිලිවන්ත ලෙස ඔහු පියවරනේ පියවර ක්‍රීඩාවෙන් ඉදිරියට ආවේය. මුලින්ම ඔහු නියෝජනය කරන්නේ යුද හමුදා රෙජිමේන්තු ක්‍රීඩා තරගයි. ඒ දැක්වූ දක්ෂතා මත ඔහුට ජාතික ක්‍රීඩා උළෙලවල්වල දොරගුළු විවරවන්නට ගත්තේය. අප්‍රමිත ධෛරයෙන් යුතුව ඔහු දිනෙන් දින ඉදිරියට ගියේය. ආසියානු පැරාලිම්පික් තරගාවලි සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට ඔහුට අවස්ථාවක් උදා වන්නේ ඒ අනුවය. එතැන් සිට දිනේෂ් යනු අපේ රටට ජාත්‍යන්තර කීර්තිය අත්කරදෙන ක්‍රීඩකයෙක් ලෙස ඉදිරියට එන්නට විය. 2016 වසරේ බ්‍රසීලයේ රියෝ නුවර පැවැති පැරාලිම්පික් උළෙලේ ලෝකඉඩ පදක්කම හිමිකර ගැනීමත් සමග ක්‍රීඩා බලධාරීන්ගේ විශේෂ අවධානයක් ද දිනේෂ් වෙත යොමුවන්නට විය. ඒ වන විට ඔහුව රැකබලා ගත්තේ යුද හමුදාව විසිනි. කෝප්‍රල් තනතුරේ සිටි දිනේෂ් 2017 වසරේ හමුදා සේවයෙන් විශ්‍රාම ගත්තේය. එතැන් සිට ඔහුගේ අධික්ෂකයා වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයයි. 2017 වසරේ ලන්ඩන්හී පැවති ලෝක ශූරතා පැරාලිම්පික් තරගාවලියට සහභාගිවන දිනේෂ් හෙල්ලවිසිකර එහිදී රටට දිනා දෙන්නේ රිදී පදක්කමකි. 2018 දී පැවැති ඉන්දුනීසියාවේ පැවැති ආසියානු පැරා ක්‍රීඩාතරගාවලියෙන් දිනේෂ් රන්පදක්කමින් රට බබළවන්නට විය. 2019 වසරේ මෙරට පැවැත්වෙන ජනාධිපති ක්‍රීඩා උළෙලේදී වැඩ පෙන්වන දිනේෂ් එම වසරේදිම පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී හිමිකරගන්නේ රිදී පදක්කමය. එදා ඔහු එම පදක්කම පවා හිමිකර ගන්නේ අතෙහි ඇතිවූ ආබාධයක් හේතුවෙන් හෙල්ල විසිකිරීමට ලැබෙන අවස්ථා 06 න් එක් අවස්ථාවක් පමණක් භාවිතා කිරමිනි. 2020 වසරේ එක්සත් එමීර් රාජ්‍යෙය් පැවැති ගිම්හාන පැරාලිම්පික් තරගාවලියද දිනේෂ් අපේ රට නියෝජනය කළේය. එවරත් ඔහු රිදී පදක්කම දිනා ගත්තේය. එහෙත් ඔහුට මෙවර පැරාලිම්පික් බලාපොරොත්තුව වූයේ රනින් මව් රට සැරසීමය. ඒ බව ඔහු මෙරටින් පිටත්ව යන්නට පෙරද පැවසූවේ දැඩි ආත්ම විශ්වාසයක් ඇතිවය. මව්බිම රනින් සරසන බව ඔහු කීවේය. ඒ වචනය ඔහු ඒ ආකාරයෙන්ම රැක්කේ ජාත්‍යන්තර ගෞරවය මව්බිමට රැගෙන එමිනි.

    1986 වසරේ මෙලොව එළිය දුටු දිනේෂ් දැන් දරුවන් තිදෙනෙකුගේ පියෙකි. බාල දරුවාට තවමත් මාස අටකි.

    “ මේ පදක්කම 2012 ඉදන් තිබ්බ මගේ සිහිනයක්. ඒ සිහිනේ හැබෑ වුනා. මට ගොඩක් සතුටුයි. හැගීම් විස්තර කරන්න බැහැ.“ රනින් මව්බිම සරසාලමින් දිනේෂ් ජපානයේ ටෝකියෝ නුවර සිට කීවේය.

    එහිදී ඔහු සිය දයාබර බිරිය ගැන වචනයක් කියන්නටත් අමතක නොකළේය. “ ඇය මාව දිරිමත් කරනවා.“ යැයි කියාය.

     

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img