මෙරට කොවිඩ් ව්‍යාප්තිය සිදුවූ දින සිට මේ දක්වා ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් 11,000 කට කොවිඩ්-19 වෛරසය ආසාදිතව ඇති බවත් මේ වන විටත් 3000 කට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් නිවෙස්වල සහ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.
එසේම කොවිඩ් ආසාදිතව පොලිස් නිලධාරීන් 27 දෙනෙක් මේ වන විට මිය ගොස් ඇති බවත් එම තොරතුරුවල සදහන්ය.
ශ්‍රී ලංකා පොලීසියේ කොවිඩ් ආසාදිතවූවන් අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව්දෙනෙක් සිටිති. ඒ අතර ශ්‍රී ලංකා පොලීසියේ දෙවැනියා වන නන්දන මුණසිංහ මහතාද සිටියි. මුලින්ම කොවිඩ් ආසාදිතවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවන්නේ පොලිස් මූලස්ථානයේ සේවයේ නිරතව සිටින ෆෑන්ක්ලි ප්‍රනාන්දු මහතාය. අනතුරුව නැගෙනහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතාට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරුකර තිබේ. අනතුරුව ඔහුව රෝහල්ගතකිරීමකින් පසුව කළ පී.සී.ආර්. පරීක්ෂාවකදී ඔහු කොවිඩ් රෝගියෙක් නොවන බවට ප්‍රතිඵල ලැබී ඇත. කෙසේ වෙතත් ඔහු මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සදහන්ය. අජිත් රෝහණ මහතා සැලකෙන්නේ කොවිඩ් ආසාදිතවූ සිව් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසය.
එසේම නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද 10 දෙනෙක් පමණ මේ වන විට කොවිඩ් ආසාදිතව ඇති බවත් අධිකාරී ශ්‍රේණියේ නිලධාරීන්ද විශාල පිරිසකට කොවිඩ් ආසාදිත වී ඇති බවත් පොලිස් තොරතුරු සදහන් කළේය.