fbpx
තවත්
    මුල් පිටුවspecialබංග්ලාදේශයෙන් ණය ගැනීම අපට බලපාන හැටි

    බංග්ලාදේශයෙන් ණය ගැනීම අපට බලපාන හැටි

    ශ්‍රී ලංකාවට  බංග්ලාදේශයෙන් ඇමරිකානු ඩොලර් (USD) මිලියන 250 ක ණය මුදලකින් ඩොලර් මිලියන පනහක විදේශ විනිමය හුවමාරුවක් (foreign currency swap ) ලෙස ලබා ගැනීමට සිදුවිය. මෙය බංග්ලාදේශය විදේශයකට ණය ලබා දෙන පළමු අවස්ථාව බව සැලකේ.

    මෙම ණය මුදල ශ්‍රී ලංකාවේ දැනට පවතින කෙටි කාලීන ණය පියවීම සඳහා භාවිතා වන බව පැවසේ. ආසියාවේ දියුණු වන රටක් වන බංග්ලාදේශයෙනුත් ණය මුදලක් ලබා ලබා ගැනීම පිළිබඳව ආන්දෝලනාත්මක මතවාද රටතුල පැතිරෙමින් පවතී.

    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය

    ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අවපාතය කොවිඩ් වසංගතය හමුවේ දී වඩාත් උග්‍ර වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය කොවිඩ් වසංගතය හමුවේ අඩාල වීමත්, නිදහස් සෞඛ්‍ය සේවය තවමත්   සුරක්ෂිත රටක් වන ශ්‍රී ලංකාවේ ආර්ථික අවපාතය, වෙනත් රටවලට වඩා බිහිසුණු තත්ත්වයක පවතී.

    ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව රැක ගැනීමේ අරමුණෙන් කොවිඩ් 19 එන්නත්කරනය, “ඕනෑම වියදමක් දරා” (at any cost) හෝ ඉටුකිරීමට අද රජයට සිදුව ඇත. එමෙන්ම, කොවිඩ් වසංගතය හමුවේ අසරණවූ රටවැසියා රැක බලා ගැනීමටත්, විපක්ෂයේ සහ කියනදේ නාහන ඇට්ටර රට වැසියාගේ අමන ක්‍රියා හේතුවෙන් රට තුල වන ආර්ථික අර්බුදය වඩාත් උග්‍රව පවතී. එලෙසටම රජයේ සමහර වික්ෂිප්ත තීරණ මේ තත්ත්වය වඩාත් උග්‍ර කරවන්නක් වී ඇත.

    මේ හේතුවෙන් විශාල විදේශ විනිමයක් එන්නත්කරණයට සහ කොවිඩ් පරීක්ෂා කට්ටල වෙනුවෙන් කැප කිරීමට අප රජයට සිදු වී පවතී. නිදහසින් පසු බොහෝ පාලකයින් විදේශ ණය අධික ව ලබාගැනීමේ ආදීනව වර්තමාන සමාජයට දැරීමට සිදුවී පැවතීම කණගාටුවට කරුණකි.

    ලෝක බැංකුව විසින් ප්‍රකාශිත, “ශ්‍රී ලංකා සංවර්ධන  යාවත්කාලීන වාර්තාව” (world bank- sri lanka development update) අනුව, 2020 දී ශ්‍රී ලංකා ආර්ථිකය 3.6% ක හැකිලීමකට ලක් වූ අතර  රාජ්‍ය  ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 109.7% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ගණන් බලා ඇත. පසුගිය දෙසැම්බරයේ ස්වෛරී ණය පිලිබඳ ෆිට්ච් ඇගයීමට අනුව (fitch rating for sovereign credit), ශ්‍රී ලංකාව CCC මට්ටමට පහළ බැස ඇති අතර බංග්ලාදේශය BB- හි පවතී.

    Currency swap සරලව

    මෙය මුදල් හුවමාරු කර ගන්නා ද්වී පාර්ශවික ගිවිසුමක් හරහා පාර්ශවයන් දෙදෙනෙකු විසින් ණය මුදලෙහි මූලික මුදල සහ එම මුදල සඳහා පොලිය මූලික මුදල් සඳහා  හුවමාරුව ආරම්භයේදී මූලික ස්ථානීය අනුපාතයකට (Spot rate) සිදු කිරීමයි. මෙහිදී ද්වීපාර්ශවීය රටක මුදල් ඒකකයකින් පියවනු ලැබේ.

    මෙමගින් විනිමය අනුපාත වෙනස් වීමේ අවදානම අඩු කරන අතර පොලී අනුපාත අවදානමද අඩු කරයි.  ජාත්‍යන්තර මූල්‍ය වෙලඳ පොලේ  උච්චාවචනය වීමටද සහනයක් වේ. අනෙකුත් වාසි ලෙස,
    අඩු අවදානමකට ණයට ගැනීමේ හැකියාව, නව මූල්‍ය වෙලඳ පොල වෙත ප්‍රවේශ වීමට හැකිවීම, වත්කම් සහ වගකීම් අතර නොගැලපීම් නිවැරදි කිරීමේ මෙවලමක් ලෙස වැදගත් වේ.

    ණය කොන්දේසි

    ප්‍රකාශිත ණය කොන්දේසි පහත ආකාරයට වේ.
    ලන්ඩන් අන්තර් බැංකුව ඉදිරිපත් කරන අනුපාතය  (London Inter Bank Offered Rate – LIBOR) ට එකතු වූ 2% පොලී අනුපාතිකයක් මත ණය පියවිය යුතු බවත් එහි සඵල අනුපාතිකය,  2.5% දක්වා  ඉහළ යනු ඇති බවත් www.asianikkei.com වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇත . ණය ආපසු ගෙවීම මාස 6 ක් දක්වා ගත වුවහොත්, දැනට මූලිකව මාස තුනක් සඳහා වන මෙම ණය සඳහා 0.14% ක මූලික පොලී අනුපාතය සහ මාස 6 ක් සඳහා 0.18% ක අනුපාතය ලෙස ගෙවිය යුතු බව එම වෙබ් අඩවියේ සඳහන් ය.

    බංග්ලාදේශය ධනවත් ද?

    පසුගිය දශකය තුළ බංග්ලාදේශයේ ආර්ථික ප්‍රතිරූපය සාධනීය ලෙස වෙනස් වී ඇත. අතීතයේ  විදේශ ආධාර මත යැපුණු ඔවුන්ට විදේශයන් වෙත  ණයට දීමට අද ශක්තිමත් විදේශ විනිමය සංචිත  තිබේ.

    වාර්ෂික ආර්ථික වර්ධන වේගය 7% කින් ඉහළ නංවා ගනිමින් , අපනයනයන් සැලකිය යුතු ලෙස වැඩි කර ගත් අතර, ස්ථාවර විදේශ විනිමය ප්‍රේෂණ ඉපැයීම් හරහා විදේශ විනිමය සංචිත ගොඩනැගීම සිදු කරනු ලැබිණි . බංග්ලාදේශයේ
    2020 දී දළ දේශීය නිෂ්පාදිත වර්ධනය 5.2% ක් වන අතර එය ආසියාවේ ඉහළම වර්‍ධනය වන බව බංග්ලාදේශයේ මුදල් ඇමති එම් එම් මුස්තෆා කමල් පැවසීය.

    “2019 දී අපි වෙනත් රටවලට ණය ලබා දෙන දින පැමිණෙන බව ප්‍රකාශ කළා” යැයි ඔහු පැවසීය.

    ආනයන සඳහා මාස හයක් අරමුදල් සැපයීමට ප්‍රමාණවත් තරම් විදේශ සංචිත (USD බිලියන 45ක්) ඔවුන් සතුය. පසුගිය මූල්‍ය වර්ෂයේදී බංග්ලාදේශයේ විදේශ විනිමය ප්‍රේෂණ  ඩොලර් බිලියන 21 ඉක්මවා ඇත.  එය මෙම වසරේ (2021) දී ඩොලර් බිලියන 25 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඔවුන්ගේ වාර්ෂික අපනයනය ඩොලර් බිලියන 40 කට ආසන්න ය.

    ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ බංග්ලාදේශයේ විදේශ සංචිත ප්‍රමාණය  හා සසඳන විට ලංකාවට සාපේක්ෂව කුඩා ණය මුදලක් ලබා දී ඇති බවයි.  එහෙත්, බංග්ලාදේශය වෙත කාලානුරූපව ණය නොගෙවීමේ අවදානමක් ඇති අතර එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් මන්දගාමී විය හැකිය.

    බංග්ලාදේශ මහ බැංකුවේ හිටපු අධිපතිවරයාගේ ප්‍රකාශයකට අනුව බංග්ලාදේශය සතු විදේශ විනිමය  සංචිතය ණය ලබාදීම සඳහා ප්‍රමාණවත්ය.  ශ්‍රී ලංකා රජය විසින් “ස්වෛරී ඇපයක් – sovereign guarantee” ක් ගෙවන හෙයින් එය විදේශ බැඳුම්කර ආයෝජනය කිරීමට වඩා සුදුසු බව ප්‍රකාශිතය.

    බංග්ලාදේශයේ සාර්ව ආර්ථික දර්ශක (macro economic indicators) ප්‍රශස්ත  මට්ටමක පවතින බැවින් ඔවුන්හට ආර්ථික ශක්තියක් සතුව පවතී.  ඔවුන්ගේ විදේශ විනිමය සංචිත ඉහළ අතර, උද්ධමන අනුපාතය (inflation rate) අඩුය. ඔවුන්ගේ  ඒක පුද්ගල ආදායම හොඳ තත්ත්වයක පවතී.  මෙම මුදලින් බංග්ලාදේශය ස්ථිර ණය දෙන්නෙකු  බවට පරිවර්තනය නොවන අතර කුඩා ණය ඉල්ලීම් සමඟ ඉදිරියේදී ද කටයුතු කරනු ඇත.

    භූ දේශපාලනික හේතූන් මත බංග්ලාදේශය  විසින්  ශ්‍රී ලංකාවට ණයක් දීමට සිදු වී ඇත්තේ “පිහිටවන මිතුරා සැබෑ මිතුරා ය – Friend in need, friend indeed” යන පිරුළ සනාථ කරමිනි.

    ආර්ථිකමය අවදානම් පවතින තාක් කල් ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂය ඉතා දුර්වල මට්ටමක පවතින අතර, විදේශ විනිමය සංචිත ඉක්මවන වෙනත් ආපසු ගෙවීමේ බැඳීම් ශ්‍රී ලංකාවට තිබේ. මෙනිසා බොහෝ දුරට ශ්‍රී ලංකාවට ඉක්මනින් විදේශ ණය ආපසු ගෙවීමට නොහැකි වනු ඇත.

    මෙම මුදල් හුවමාරුව හරහා ශ්‍රී ලංකාවට කෙටිකාලීන ණය බරින් මිදීමට යම් සහනයක් ඇතිවන අතර, නිසි උපාය ක්‍රම භාවිතාකොට ශ්‍රී ලාංකීය ආර්ථිකය නගාසිටුවීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරේ.

    සැනෙෂ්කා පමුදිතා දහනායක

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.