අද ලෝකයේ වැඩියෙන්ම කතාබහට ලක්වන මාතෘකාව මොකක්ද කියලා ඇහුවොතින් අවිවාදයෙන්ම සියලු දෙනාම වාගේ කියාවි ඒ කෝවිඩ්-19 කියලා. සමස්ථ ලෝකයම වෙලාගත් මේ වසංගතයට පිළියමක් සොයන්නට ලොවපුරා වියතුන් එක්රැස්ව ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි. කෝවිඩ් 19 ගැන දැනටමත් බොහෝ කරුණු බොහොමයක් දෙනා දන්නා නිසා මෙම ලිපිය මගින් උත්සාහ කරන්නේ කෝවිඩ් 19 වෙනුවෙන් නිෂ්පාදනය වූ, දැනට භාවිතා වන එන්නත් සායනිකව අත්හදා බැලීම සිදුකළ ආකාරය ගැන අවබෝධයක් ලබා දෙන්නටයි.
මේ සඳහා එන්නත සැබැවින්ම මිනිසුන් හට ලබාදීම සිදුකළ යුතුයි. මෙම කර්තව්‍ය වෙනුවෙන් ලොව පුරා සිටින බොහෝ පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. මෙහිදී මුලින්ම සිදුකරන්නේ එසේ ඉදිරිපත් වන පිරිස කාණ්ඩ වලට බෙදීමයි. ඉන්පසු ඔවුන්ගෙන් ඇතැමෙක් හට පර්යේෂණ මට්ටමේ පවතින එන්නත සහ ඉතිරි අයට (අතුරුඵල රහිත) බොරු ඖෂධයක් (Placebo – මෙය රෝගියාට තමන් ඖෂධයක් ලබාගත් බවට මානසිකව හැඟීමක් ඇතිකිරීමට පමණක් ලබාදෙන සේලයින් වැනි රසායනිකයක්) ලබාදෙනවා.
Pfizer/ BioNtech සමාගම් මගින් පර්යේෂණ සිදුකරන එන්නත පරීක්ෂා කිරීම සඳහා, ඇමරිකාව, ජර්මනිය, තුර්කිය, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව යන රටවලින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වු 44,000 ක පිරිසක් යොදාගෙන තිබෙනවා. ඔවුන්ට පළමුවර එන්නත ලබාදීමෙන් දින 21 කට පසු නැවතත් එන්නත ලබාදී තිබෙනවා. ඇමරිකානු රජයේ අනුග්‍රාහකත්වය යටතේ Moderna/ NIH ආයතන එක්ව පර්යේෂනයන් සිදු කළ එන්නත, ඇමරිකාවේ විවිධ ප්‍රදේශ කිහිපයකින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 30,000ක පිරිසක් යොදාගෙන පරීක්ෂාවට ලක්කර තිබෙනවා. ඔවුන්ට පළමුවර එන්නත ලබාදීමෙන් දින 28 කට පසු නැවතත් එන්නත ලබාදී තිබෙන බවට වාර්තා වනවා. මෙම එන්නත් දෙකේම පර්යේෂණ වලදී, පර්යේෂණ නිලධාරීන් මෙන්ම පර්යේෂණ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අයද, කාහට සැබෑ එන්නත ලැබුනේද, කාහට බොරු ඖෂධය (Placebo) ලැබුනේදැයි දන්නේ නැහැ. ඉන්පසුව පර්යේෂණයට භාජනය වූ සියලු දෙනාම සාමාන්‍ය පරිදි (අනෙක් අය මෙන්, නිතර අත් සේදීම, මුව ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය තබාගැනීම වැනි ආරක්ෂක ක්‍රම පිළිපදිමින්) සමාජගත කරනවා. අවධානම අධික බැවින්, Challenge Trial ලෙස හඳුන්වන ක්‍රමවේදයේදී මෙන් මෙහිදී වෛරසය පර්යේෂණයට භාජනය වූවන්ගේ ශරීරයට ඇතුළු නොකළ බව පැවසෙනවා. මොවුන්ගේ සෞඛ්‍ය තත්වය නිරන්තරයෙන් අධීක්ෂණය කෙරෙන නිසා, කලකට පසු ඔවුන් අතරෙන් (සැබවින්ම එන්නත ලබාගත් අය සහ Placebo ලබාගත් අය අතරින්) රෝගය කොපමණ පිරිසකට වැළඳී ඇති දැයි සොයා බැලීම සිදු කළා.
පර්යේෂණ ප්‍රතිඵල දේශපාලනික සහ වෙනත් භාහිර බලපෑම් වලින් තොරව සිදුකිරීම සඳහා මෙම දත්ත ලබාගැනීම සහ විශ්ලේෂණය කිරීම සිදු කළේ Data and Safety Monitoring Board ලෙස හඳුන්වන රහසිගත කණ්ඩායමක් මගින්. ඔවුන්ගේ අනන්‍යතාවය පිළිබඳව කිසිදු තොරතුරක් පර්යේෂකයන්හට හෙලිදරව් වන්නේ නැහැ. ඔවුන් ප්‍රතිඵල පමණක් අදාල ආයතන වෙත දැනුම් දෙනවා. මේ නිසා පර්යේෂණ ප්‍රතිඵල වඩාත් විශ්වාසනීය වූ බව පැවසෙනවා.
අද මෙම එන්නත් සාර්ථකව ලෝක වාසී බහුතරයක් හුදී ජනයා වෙත සාර්ථකව ලබාදී තිබෙනවා. ලොව පුරා ලක්ෂ ගණනක් මිනිසුන්හට මරු කැඳවූ, ලොවක් භීතියෙන් වෙලාගත් Covid19 වෛරසයන් මිදීමට එන්නතක් පැමිණීම සකළ ලෝකවාසී ජනතාවටම හදවතින්ම සතුටු විය හැකි කරුණක් වී ඇත.
(මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)
මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.