‘2019 කොරෝනා වෛරස් රෝගය (කෝවිඩ් 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත’ සම්මත කර ගැනීම සඳහා දෙවනවර කියවීම අවස්ථාව සහ නියෝග 4ක් සම්මත කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්වීම අද (17) පැවැත්වේ.
පවතින කෝවිඩ් තත්ත්වය මධ්‍යයේ සභානායකවරයාගේ ඉල්ලීම මත ඊයේ (16) පැවති හදිසි පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත්තේ අද පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට ය.
ඉන්පසු ලබන සැප්තැම්බර් 06 වන සඳුදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට තීරණය කර ඇත.
ඒ අනුව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ සැප්තැම්බර් 06 වන දා විශේෂ පාර්ලිමේන්තු දිනයක් බවය.
කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා පසුගිය කාලයේ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි විය.
ඒ නිසා ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා අවස්ථාව ලබාදීමට, 2021 සැප්තැම්බර් 06 සහ සැප්තැම්බර් 27, විශේෂ පාර්ලිමේන්තු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට 2021.08.05 රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.
එහෙත් එම කාලීන වැදගත්කමකින් යුතු ප්‍රශ්නවලට ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු ලබාදිය යුතු නිසා රජයේ සහ සභානායකවරයාගේ අදහස අනුව විශේෂ පාර්ලිමේන්තු දින 02ක් ලබාදීමට යෝජනා වී තිබිණි.
2021.08.05 පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වෙත සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම යෝජනාව ඉදිරිපත් කළ අතර, කාරක සභාවේ සිටි ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ සාමාජිකයෝ ඊට එකඟ වූහ.
ඒ අනුව 2021 සැප්තැම්බර් 06 සහ 27, විශේෂ පාර්ලිමේන්තු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය විය. පිළිතුරු ලබා නොදුන් ප්‍රශ්නවලට පමණක්, මෙම දිනවල ඉඩ ලබාදීමට තීරණය වූ බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.