තෙල් මිල වැඩිකිරීමට එරෙහිව අද බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී සමගි ජනබලවේගය ‘වැඩේ වරද්දාගැනීම’ නිසා මැතිසබේ ඇතිවූ මහත් කාලගෝට්ටිය අවසන් කරන ලද්දේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් විපක්ෂයට ‘වරද හදාගැනීමට දුන් අවස්ථාව’ නිසා ය.
සිද්ධිය මෙසේය.
අද න්‍යායපත්‍රයට ඇතුළත් කර තිබූ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම පැවරී තිබුණේ එස් එම් මරික්කාර් මන්ත්‍රීවරයාට ය.
ඔහු විසින් ඒ පිළිබද සිය කතාව කරගෙන ගියේ ය. එය අවසානයේ කබීර් හෂීම් මන්ත්‍රීවරයා ද ‘එම යෝජනාව මම ස්ථිර කරමි’ යනුවෙන් පවසත්ම රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා ද ඊට අතුරු සංශෝධනයක් ගෙන ඒමට අවශ්‍ය බවට කීය.
මෙහිදී නැගී සිටි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කියාසිටියේ මරික්කාරිි මන්ත්‍රීවරයා විශ්වාසභංගයක් ඉදිරිපත් කර නොමැති බැවින් විවාදයක් ඉදිරියට ගෙනයාම කළ නොහැකි බවයි.
මෙහිදී විපක්ෂයේ කෑකෝගැසීම් එල්ලවෙමින් තිබියදී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා එය පැහැදිලි කළේය. එනම් මරික්කාර් මන්ත්‍රීවරයා යෝජනාව නොකියවා ඒ පිළිබද තම කතාව පමණක් ඉදිරිපත් කළ බවයි. ඒ අනුව විශ්වාසභංගය නිසි ලෙස යෝජනා කොට නොමැති අතර ඔහු කර ඇත්තේ විවාදයට අදාළ කතාවක් පමණි. දිනේෂ් ගුණවර්ධන මමන්ත්‍රීවරයා පැහැදිලි කරමින් කියාසිටියේ තමා ගෙන එන විශ්වාසභංගය මුළුමනින්ම කියවා තමා එය යෝජනා කරන බවට පැවසීමෙන් අනතුරුව එම යෝජනාව මැතිසබේට ඉදිරිපත් වී ඇති බවට බලාත්මක වන බවයි. හැන්සාඩ් එක කියවා මෙතෙක් පාර්ලිමේන්තුවේ පැවති සම්ප්‍රදාය අධ්‍යයනය කර මෙය නිවැරැදිව ඉදිරිපත් කළ යුතු බවට දිනේෂ් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ඒ අනුව විපක්ෂය තවදුරටත් මහ හඬනංවමින් සිටියේ එය න්‍යාය පත්‍රයේද ඇතුළත් වන බැවින් දැනටමත් ඉදිරිපත් කොට ඇතැයි කියමිනි.
එහෙත් කථානායකවරයා පැවසුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන කටයුතු මැතිසබේදී ක්‍රියාත්මක කරන අතර මෙම විශ්වාසභංගය පිළිබද නමක් න්‍යාය පත්‍රයේ ඇති නමුත් ඒ පිළිබද යෝජනාවක් ලෙස ඉදිරිපත් නොවීම මගින් විපක්ෂය වරදක් කර ඇති බවයි.
එහිදී මරික්කාර් මන්ත්‍රීවරයා යළිත් එය කියවීමට සූදානම් වීමේදී විමල් වීරවංශ, ප්‍රසන්න් රණතුංග යන මන්ත්‍රීවරු ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විපක්ෂයට විරෝධය දක්වා සිටියේ විශ්වාසභංගයක් ඉදිරිිපත් කිරීමට ඉගෙන ගෙන එන ලෙස යනුවෙන් ද පවසමිනි. එමෙන්ම දෙවරක් කියවීමට ඉඩදිය නොහැකි බව පවසමිනි.
මෙම කාලගෝට්ටිය තරමක දුරදිග යද්දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා නැගී සිටියේ ය. ‘කථානායකතුමනි අපි විවාදයට සූදානම්. ඒ නිසා මෙයාලට මේක ඉදිරිපත් කරන්න ආයෙත් ඉඩදෙමු” යනුවෙන් කී අතර ආණ්ඩු පක්ෂයේ සිනා හඬ මැද මරික්කාර් මන්ත්‍රීවරයා ‘අගමැතිතුමාට අපි ස්තූති කරනවා මේ අවස්ථාව දුන්නට’ කියමින් යළිත් නිවැරැදි ලෙස විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට පටන් ගත්තේ ය.