ව්‍යාපාරික අරමුණින් පමණක් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට තමා ද විරුද්ධ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බැවින් පෞද්ගලික විශ්වවිද්‍යාල උපයන ආදායම අධ්‍යාපන කටයුතුවල ප්‍රවර්ධනය සඳහා ම වෙන් කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව උද්ඝෝෂණවල නිරතවන්නන් සිදු කළ යුත්තේ වර්තමානයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම මිස දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පෙනී සිටීම නො වන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
උපාධියක් ලබාගන්නා බහුතරයක් රජයේ රැකියාවක් අපේක්ෂා කරති. එහෙත් රජයක වගකීම විය යුත්තේ රැකියා සැපයීම නොව රැකියා නිර්මාණය කරන පුළුල් ආර්ථික පසුබිමක් සැකසීම බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනෙන් තමා අපේක්ෂා කරනුයේ, ආර්ථිකයට සෘජුව සම්බන්ධ විය හැකි හෝ ස්වයං රැකියාවක නිරත විය හැකි දැනුමක් සහිත පුද්ගලයෙකු උපාධිය අවසානයේ නිර්මාණය කිරීම බව ජනාධිපතිවරයා පැවසීය.
කෑගල්ලෙන් ඇරඹෙන පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන කඩිනමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන සංකල්පයක් ලෙස හඳුන්වා දෙමින් නිල වෙබ් අඩවිය (www.cu.ac.lk) විවෘත කිරීම “ලෝක තරුණ නිපුණතා දින සැමරුම – 2021” ට සමගාමීව අද (15) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ ය.