Home උණුසුම් පුවත් වැලිකඩ බන්ධනාගාර තාප්පය අසලින් පොලීසිය සොයාගත් දේ

වැලිකඩ බන්ධනාගාර තාප්පය අසලින් පොලීසිය සොයාගත් දේ

වැලිකඩ බන්ධනාගාර තාප්පය අසලින් පොලීසිය සොයාගත් දේ

වැලිකඩ බන්ධනාගාර තාප්පය අසල සැකකටයුතු ත්‍රී රෝද රථයක් අද (11) අලුයම පරීක්ෂාකළ බොරැල්ල පොලීසියේ නිලධාරීන් මෙරට නිෂ්පාදිත පතොරම් 04 ක් යෙදිය හැකි රිවෝල්වරයක් සමග තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ගිනි අවියට අමතරව කිනිස්සක්ද වෙඩි බොහෙත් බවට සැකකරන පුපුරණ ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක්ද, ගංජා සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය ද ඔවුන් සතුව තිබී සොයාගෙන ඇත. ඊට අමතරව රුපියල් 42780 මුදලක්ද එක් සැකකරුවෙක් සතුව තිබුණු බව පොලීසිය කියයි.

බොරැල්ල පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම මුර සංචාරක පොලිස් ජිප් රථය වැලිකඩ බන්ධනාගාර තාප්පයත් සමග වැටී ඇති සීවලී පටුමග ඔස්සේ ගමන් කරමින් තිබියදී මෙම සැකකටයුතු ත්‍රී රෝද රථය එහි සිටි නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබේ. පොලිස් ජිප් රථය දුටු ඔවුන්ගේ හැසිරීම සැකකටයුතු වූ බැවින් පොලිස් නිලධාරීන් ත්‍රී රෝද රථයේ සිටි තිදෙනා පරීක්ෂාවට ලක්කර තිබේ. ගිනි අවිය, කිණිස්ස සහ මත්ද්‍රව්‍ය හමුවී ඇත්තේ එම පරීක්ෂාවේදීය.

ඒ අනුව ත්‍රී රෝද රථය පොලිස් භාරයට ගෙන එහි සිටි තිදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අවුරුදු 40,26 සහ 20 යන වයස්වල පසුවන්නන්ය. බොරැල්ල සර්පන්ටයින් පාරේ පදිංචිකරුවන් දෙදෙනෙක් සහ මරදානේ පදිංචිකරුවෙක් ඒ අතර සිටින බව පොලීසිය කියයි.

ගිනි අවියක් තබාගෙන ඔවුන් එම ස්ථානයේ රැදී සිටියේ යම් අපරාධයකට සූදානමින්දැයි විමර්ශන පවත්වන බව බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතා සදහන් කළේය. ගිනි අවිය විදේශයක නිෂ්පාදනය කළ ගිනි අවියකට මුළුමනින්ම සමාන ලෙස සකස්කර ඇති එකක් බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවැසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here