Home දේශීය පුවත් දක්ෂිණ අධිවේගී ඉතිහාසයේ වාර්තාගත වැඩිම අනතුරු අදයි

දක්ෂිණ අධිවේගී ඉතිහාසයේ වාර්තාගත වැඩිම අනතුරු අදයි

0
දක්ෂිණ අධිවේගී ඉතිහාසයේ වාර්තාගත වැඩිම අනතුරු අදයි

දක්ෂිණ අධිවේගී මාර්ගය රථ වාහන ධාවනයට විවෘත වූ දින සිට මෙතෙක් ගෙවී ගිය දස වසර තුළ රිය අනතුරු වලින් වැඩිම වාහන ගණනක් හානි වූ දිනය ලෙස සැළකෙන්නේ අද (14) යි.
දක්ෂිණ අධිවේගී මාර්ගය රථවාහන ධාවනයට විවෘත වන්නේ 2011 වසරේ නොවැම්බර් 27 වෙනිදාය. එදා සිට මේ දක්වා ගෙවී ගිය වසර 10 තුළ රිය අනතුරු කොතෙකුත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුව ඇතත් අද දිනයේ ස්ථාන දෙකකදී සිදුවූ රිය අනතුරු වලින් රථවාහන 22 කට හානි සිදුවිය. එම අනතුරු දෙකම සිදුවන්නේ කොට්ටාවේ සිට ගාල්ල දෙසට ධාවනය වන මංතීරුවේය. පළමු අනතුර සිදුවූ ස්ථානයේ සිට කිලෝ මීටරයක් පමණ දුරකින් දෙවැනි අනතුර සිදුව ඇත. පළමු අනතුරෙන් වාහන 16 කට හානි සිදුවන අතර දෙවැනි අනතුරින් වාහන 06 කට හානි සිදුවූ බව අධිවේගී මාර්ග පොලිස් ඒකකය සදහන් කරයි.

අධික වේගය සහ වාහන දෙකක් අතර ධාවනයේදී තබාගත යුතු දුර ප්‍රමාණය නිසි ලෙස පවත්වාගෙන නොයාම එක් වාහනයක් අනතුරට ලක්වන විට පසුපසින් ගමන් ගන්නා වාහන එකිනෙක ගැටීමට මුල්වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිනක සිදුවූ අනතුරුවලින් රථවාහන මෙතරම් ප්‍රමාණයකට හානි සිදුවූවත් මෙම අනතුරුවලින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති වීම විශේෂත්වයකි. පොලීසිය සදහන් කළේ වෑන් රථයක ගමන් කළ එක් පුද්ගලයෙකුට පමණක් සුළු තුවාල සිදුව ඇති බවය.

මෙම රිය අනතුරු හේතුවෙන් කිලෝ මීටර් 05 කට වැඩි දුරකට අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට වාහන ගමන් ගන්නා ධාවන තීරුවේ වාහන තදබදයක් ඇතිවූ බවත් එය සාමාන්‍ය අතට පත්වීමට තුනක පමණ කාලයක් ගතවූ බවත් අධිවේ්ගී මාර්ග පොලිස් ඒකකය සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here