Home උණුසුම් පුවත් යෝජිත නගර සංවර්ධන සැලසුම ජනපති අතට

යෝජිත නගර සංවර්ධන සැලසුම ජනපති අතට

0
යෝජිත නගර සංවර්ධන සැලසුම ජනපති අතට

සංවර්ධන ඉලක්ක සහ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ඇතිවන අයුරින් ප්‍රධාන නගර කිහිපයක සිදු කිරීමට අපේක්ෂිත නගර සංවර්ධන සැලසුම් අද ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා වෙත නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිරිපත්කරනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

රජයේ වැඩපිළිවෙළ අනුව රටේ සංවර්ධන ඉලක්ක, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ඇතිවන අයුරින් ප්‍රධාන නගර සංවර්ධනය නාගරික සංවර්ධන අධිකාරිය රේඛීය ආයතන සමග එක්ව සැලසුම් කර තිබේ.

එහි පළමු අදියර යටතේ ගාල්ල, බණ්ඩාරවෙල, රත්නපුර නගර මධ්‍යය සහ තිඹිරිගස්යාය, කොටුව, පිටකොටුව හා කොල්ලුපිටිය යන සුවිශේෂි ආර්ථික මෙහෙයුම් කලාප සංවර්ධනයට ලක් කෙරේ. හරිත නගර සංකල්පයට ප්‍රමුඛතාව දෙමින් සියලු පහසුකම් සහිත ආකර්ෂණීය අයුරින් සැලසුම් නිර්මාණය කර තිබේ.

පුළුල් මාර්ග, වාහන නැවතීමේ පහසුකම්, පදික වේදිකා, වෙළෙඳ සංකීර්ණ, සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක ආලෝක පද්ධති ඇතුළු පහසුකම් රැසක් නව සැලැස්මට ඇතුළත් වේ.

සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී අදාළ නගර ආශ්‍රිතව ඇති ඓතිහාසික ස්ථාන සුරැකීම සේම, පැරණි ගොඩනැඟිලි ජනතා ආකර්ෂණය ඇතිවන ආකාරයෙන් සංරක්ෂණය කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරු, රේඛීය ආයතන ප්‍රධානීහු සහ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here