Home දේශීය පුවත් රූපවාහිනී පුවතක් නිසා වහලෙට නැගුණු වැලිකඩ සිරකරුවෝ

රූපවාහිනී පුවතක් නිසා වහලෙට නැගුණු වැලිකඩ සිරකරුවෝ

0
රූපවාහිනී පුවතක් නිසා වහලෙට නැගුණු වැලිකඩ සිරකරුවෝ

වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට නැගී සිරකරුවන් පිරිසක් උපවාසයක් ආරම්භකරන්නේ ඊයේ (20) දහවල් රූපවාහිනී පුවතක් නැරඹීමෙන් පසුව බව බන්ධනාගාර තොරතුරු අනාවරණය කළේය.

එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජගත් මහලේකම් අතර පැවැති සාකච්ඡාවේ දී එල්.ටී.ටී.ඊ. සිරකරුවන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනමින් අවසන් කරමින් නිදහස් කිරීමට හැකි සිරකරුවන් පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා සදහන් කළ බවට වූ පුවතකි.

එම පුවත විකාශය වීමෙන් අනතුරුව සංවිධානගතවූ සිරකරුවන් පිරිසක් තමාටද පොදු සමාවක් යටතේ නිදහස ඉල්ලා බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ වහලට නැගි බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

මෙසේ වහලයට නැගී උපවාසයේ නිරතව සිටින්නේ ආයුධ ළගතබා ගැනීම්, කොල්ලකෑම් ආදී අපරාධවලට වසර 30 – 40 ක් සිරදඩුවම් නියම වී සිටින සිරකරුවන් පිරිසක් බවද එම නිලධාරියා පැවැසීය. වසර 15 කට වැඩි කාලයක් මේ වන විට එම සිරකරුවන් සිරදඩුවම් ලබා ඇති බවත් ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ තමන්ටද පොදු සමාවක් ලබාදෙන ලෙස බවත් එම නිලධාරියා පැවසීය.

සිරකරුවන් 10 දෙනෙක් පමණ මෙම උපවාසයට එක්ව සිටින අතර ඊයේ රාත්‍රියේ දෙදෙනෙක් පමණක් වහලය මත සිට සෙසු සිරකරුවන් වහලෙන් බිමට බැස කොරිඩෝවක කාලය ගතකර අද උදෑසනම නැවත වහලයට ගොඩවූ බවද එම නිලධාරියා කීය. අද උදෑසන සිට වැසි සහිත කාලගුණයක් පැවතියත් සිරකරුවන් මාරුවෙන් මාරුවට වහලය මත නැගී සිටිමින් උපවාසයේ නිරතව සිටින බවද එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here