
ටෝකියෝවේ ඇරඹෙන ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන්ම සැකසූ ඔලිම්පික් ගම්මානයේ නිදාගැනීමට සූදානම් කර ඇති ඇඳන් කාඩ්බෝඩ්වලින් සකසා ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ‘ලිංගික විරෝධී’ එනම් ලිංගික එක්වීම් අධෛර්යමත් වීමට යැයි සමාජ ජාලා තුළ වේගයෙන් පැතිර ගිය ආරංචියකි.
මේ පිළිබද ‘යූ එස් ඒ ටුඩේ’ පුවත් සේවය විසින් fact check එනම් කරුණු පරීක්ෂා කර බලා තහවුරු කරගැනීමක් කර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ එවැනි අරමුණක් මෙම ඝන කාඩ්බෝඩ් ඇඳන් ලබාදීමෙන් අපේක්ෂා කර නොමැති බවයි.
ඔලිම්පික් ක්‍රීඩා ආරම්භ වීමට දින කිහිපයකට පෙර සිටම ඔලිම්පික් තරගවලට සහභාගි වීම වෙනුවෙන් ටෝකියෝවට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ඉසව්වලට සහභාගි වීමෙන් බැහැරව කාලය ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඇතැම් පුවත්වල සටහන් විය.
ඔලිම්පික් ධාවකයෙකු වන පෝල් චෙලිමෝ ජුලි 16 වන දින ට්වීට් පණිවුඩයක් මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සමීප සම්බන්ධතාවයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා කාඩ්බෝඩ් වලින් සාදන ලද ඇඳන් සාදා ඇති බවට පැවසීමත් සමග ඒ පිළිබද විවිධ කතා පැතිර ගියේය.
සමාජ ජාල තුළ බෙහෙවින් කතාබහට ලක්වූ අතර “ටෝකියෝ හි පැවැත්වෙන වෙනත් ක්‍රීඩා මෙන් නොවේ. ඔලිම්පික් උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ‘ලිංගික විරෝධී’ ඇඳන් භාවිතා කරනු ඇති අතර එය කාඩ්බෝඩ් වලින් සාදන ලද ඒවා ය. ඒවා නිර්මාණය කර ඇත්තේ එක් පුද්ගලයෙකුගේ බරට ඔරොත්තු දෙන අයුරිනි. ” ජූලි 18 ෆේස්බුක් සටහනක් පවසයි. ‘ඇඳන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අතර හදිසි චලනයන් සමඟ කැඩී යනු ඇතැයි අපේක්ෂා කෙරේ.’ යනුවෙන් ද සටහන් වී ඇත.
පෙබරවාරි 19 දා මෙවැනිම ප්‍රකාශයක් බෙදාහදා ගන්නා ලදී: “ටෝකියෝ ඔලිම්පික් උළෙල ඔලිම්පික් ගම්මානය තුළ කාඩ්බෝඩ් ඇඳන් සවි කර ඇති අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලිංගික ක්‍රියාකාරකම් වල යෙදවීම අධෛර්යමත් කරයි.” යනුවෙන් තවත් සටහනක පළවී ඇත.
කෙසේවෙතත් යූඑස්ඒ ටුඩේ කළ තහවුරු කරගැනීමෙන් හෙළිවී ඇත්තේ මෙම කාඩ්බෝඩ් ඇඳන් වඩාත් තිරසාර වන පරිදි සකස් කර ඇති බවයි. නමුත් ඒ කිසිසේත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සමීප සම්බන්ධතාවය අධෛර්යමත් කිරීම නොවේ.
මෙම ඇඳන් ඇත්ත වශයෙන්ම රාත්තල් 441 ක් දක්වා බර ඉසිලීමට සහාය වේ. එය ඇමරිකානු මිනිසෙකුගේ සාමාන්‍ය බර මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.
ජපන් ඇඳ ඇතිරිලි සමාගමක් වන එයාර්වේව්, ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇඳන් 18,000 ක් සහ පොලිඑතිලීන් වලින් සාදන ලද මෙට්ට ලබා දෙයි.
කාඩ්බෝඩ් ඇඳන් තිරසාර මෙන්ම සුවපහසු ලෙස සකස් කර ඇති බව ටෝකියෝ 2020 සංවිධායක ටකාෂි කිටාජිමා පවසයි. ඔවුන් එයින් වඩාත් ක්‍රීඩකයන්ගේ කායික පහසුව පිළිබද සිතා බලා ඇති බවට ද ඔහු පවසා තිබේ.
“මෙම (ඇඳන්) ක්‍රීඩා උළෙලෙන් පසු කඩදාසි නිෂ්පාදනවලට ප්‍රතිචක්‍රීකරණය කරනු ලබනවා. මෙට්ට ආදිය නව ප්ලාස්ටික් නිෂ්පාදනවලට ප්‍රතිචක්‍රීකරණය කරනවා. ඔලිම්පික් හා පැරාලිම්පික් ඉතිහාසයේ සියලුම ඇඳන් සහ ඇඳ ඇතිරිලි මුළුමනින්ම පාහේ පුනර්ජනනීය ද්‍රව්‍ය වලින් සාදා ඇති පළමු අවස්ථාව මෙයයි.” ඔහු කීය.
අයර්ලන්ත ජිම්නාස්ටික් ක්‍රීඩක රයිස් මැක්ලේනාගන් ‘ව්‍යාජ ප්රවෘත්ති’ පිළිබඳ කටකතාව පිළිබද පිළිතුරු දුන්නේ එක් ඇඳක් මතට පනින වීඩියෝවක් ට්විටර් වෙත ජූලි 17 දා මුදාහැරීමත් සමගයි.
රන් පදක්කම් දෙකක් දිනාගත් ඇමරිකානු පාපන්දු ක්‍රීඩකයෙකු වන හෝප් සොලෝ 2012 වසරේ කතාබහකදී සඳහා ඊඑස්පීඑන් වෙත පැවසුවේ “ලිංගික සිද්ධීන් රාශියක් මෙහි සිදුවෙමින් තිබෙනවා” යනුවෙනි.