
ශ්‍රී ලංකාවේ පළමු නවසීලන්ත මහ කොමසාරිස් ලෙස මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (22) දින ජනාධිපති මන්දිරයේ දී සිය අක්තපත්‍ර භාරගත්තේය.
ඉන්දියාවේ පිහිටි නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට අදාළ කටයුතු මෙතෙක් සම්බන්ධීකරණය විය.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පුළුල් කෙරෙමින් අභිනවයෙන් මෙරට ස්ථාපිත කෙරෙන නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ පළමු මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බව මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා (Michael Edward Appleton) පවසයි.
මෙරටට අලුතින් පත්ව ආ කියුබානු ජනරජයේ තානාපති අන්ද්‍රෙස් මාර්සෙලෝ ගරීඩෝ මහතා ද (Andres Marcelo Garrido) මෙහි දී ජනාධිපතිවරයා අතින් අක්තපත්‍ර භාරගෙන තිබේ.
කොවිඩ් පැතිර යාම ආරම්භයේ සිටම රජයක් ලෙස ගත් ක්‍රියාමාර්ග, එන්නත්කරණය සම්බන්ධයෙන් ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳ ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතා මෙහි දී නව තානාපතිවරුන් දැනුවත් කළේය.
දේශගුණික විපර්යාසයන්ට සියලු රටවල් එක්ව මුහුණ දීමේ අවශ්‍යතාවත්, කාර්ය සාධක බලකායක් පිහිටුවමින් විධිමත් සැලැස්මක් යටතේ රටක් ලෙස ඒ වෙනුවෙන් ගෙන ඇති සැලසුම් පිළිබඳව සහ කාබනික පොහොර භාවිතයට යොමු වීම, 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් ඉහළ ප්‍රතිශතයක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහි දී පැහැදිලි කර තිබේ.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ප්‍රධාන සංධාන නිලධාරී තුෂාර රොද්‍රිගෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.