මාධ්‍ය නිදහසයි, නීතියයි පටලව නොගන්නා ලෙසත් මාධ්‍ය නිදහස මූලික නීතියට යටත් විය යුතු බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
යම්කිසි නාලිකාවක් රාමුවෙන් පිට කටයුතු කරනවා නම්, කැලෑ නීතිය ක්‍රියාත්මක නොකරන නමුත් නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් හෙතෙම අවධාරණය කළේය.
ඔහු මේ බව කියාසිටියේ සිරස මාධ්‍ය නාලිකාව වසා දැමීමට ආණ්ඩුව නීතිඥවරුන් පිරිසක් ගෙන්වා නීති උපදෙස් ගන්නා බවට තමාට වාර්තා වූයේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද (10) ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් කළ විමසීමේ දී ය.
මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුව අමාත්‍යවරයා ඊට පිළිතුරු දුන්නේ මෙලෙස ය.
“ඒක සම්පූර්ණ වැරදියි. මේක කරුණාකරලා දාන්න. ඒ ගැන නෝටිස් එකක් දීලා තිබුණේ නෑ. (විපක්ෂ නායකවරයා ඇසූ ප්‍රශ්නය ගැන) ඒක මේ මාර්කටින් වැඩක් නේ කළේ. ඇත්තටම එහෙම නම් අපිට දැනුම් දෙන්න තිබුණා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න තියෙනවා කියලා. පාර්ලිමේන්තුවේ හැමවෙලාවේ ම හැමකෙනෙක් ම ඉන්නේ නෑ. එහෙම නැති වෙලාවක අහපු එක පාළු අම්බලමක වළං බින්ඳා වගේ වැඩක්. ඒක සම්පූර්ණ බොරුවක් කළේ.
එක දෙයක් කියන්න ඕනේ අපි නීතිඥවරු රහසිගතව ගෙනාවා කියලා. අපි නිතීඥවරු ගෙනාවා. යම්කිසි නාලිකාවක් රාමුවෙන් පිට කටයුතු කරනවා නම්, අපි කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඔන්න මම පාතාලයේ අය ගෙනල්ලා හොරෙන් සාකච්ඡා කළා නම් ඔය කිව්ව බෝම්බ කතා කියන්න තිබ්බා. නෑ මම ලංකාවේ ඉන්න ප්‍රබල නීතිඥවරු කිහිපදෙනෙක් ගෙනාවා. ගෙනල්ලා කිව්වා මෙහෙම දෙයක් දකිනවා අපි නාලිකාවල කියලා.ඒක තමයි කරන්න පුළුවන් සාධාරණම හා නීතිගරුක ම දේ. ඒක කරනවා විතරක් නෙමෙයි කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙනවා.“
මාධ්‍ය නිදහසයි, නීතියයි පටලව ගන්න එපා. ඒක පටලවාගෙන ඔබතුමන්ලා. වල්බූරු නිදහසක් ලෝකේ කොහෙවත් දීලා නැහැ. නීතියේ රාමුව තුළ තමයි නිදහස ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා තමයි නීතිඥවරු ගෙනැල්ලා සාකච්ඡා කළේ. එක නාලිකාවක් නෙමෙයි. මේ ක්‍රමවේදයන් ගැන ගතයුතු ක්‍රියාමාර්ග සහ නිතීමය තත්ත්වය ගැන පැහැදිලි විස්තරයක් අපිට දුන්නා. එයින් බැහැර වෙනවා නම් නීතිය ආරක්ෂා කිරීමේ වගකීම අපිට තියෙනවා. මාධ්‍ය නිදහස මූලික නීතියට යටත් වෙන්න ඕන. රටේ මුලික නීතිය තමයි ව්‍යවස්ථාව. ඒ නිසා ඒක පාවිච්චි කරලා තක්කඩි වැඩ කරනවා නම්, මුදලාලිට ඕන විදියට කටයුතු කරනවා නම්, අපි නීතියේ රාමුව තුළ කටයුතු කරනවා.“ යැයි ද ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ ය.