ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල නොවෙනස්ව පවත්වාගෙන යාමටත් ගෑස් මිලදී ගැනීම ප්‍රවාහනය සහ ගබඩා කිරීම මෙරට ගෑස් සමාගම් දෙක ඒකාබද්ධව සිදු කිරීමටත් කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ද්‍රවීකෘත පෙට්‍රොලියම් ගෑස් (LPG)කර්මාන්තය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාලව මෙම කටයුත්ත සිදුවන බව අද (22) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය විය.
එය මෙසේය.
“ශ්‍රී ලංකාවේ ද්‍රවීකෘත පෙට්‍රොලියම් ගෑස් කර්මාන්තය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ලබා ගැනීම සඳහා වෙළෙඳ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය අනුකාරක සභාවක් පත් කිරීම පිණිස 2021 ජුනි මස 07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. ඒ අනුව, මෙරට ගෑස් කර්මාන්තයේ නිරත සමාගම්වල නියෝජිතයින්ගේ, අදාළ රාජ්‍ය ආයතනවල හා බැංකුවල නියෝජිතයින්ගේ සහ ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවලදී එකඟ වූ කරුණු මත පදනම්ව අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව ඉදිරිපත් කරන ලද පහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී:
- පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දැනට නියම කර ඇති පරිදි කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,493/-ක මිලට ලිට්‍රෝ ගෑස් සමාගම සහ ලාෆ්ස් ගෑස් සමාගම විසින් තවදුරටත් වෙළෙඳපොළේ අලෙවි කිරීම.
- ගෑස් මිල දී ගැනීම, ප්‍රවාහනය සහ ගබඩා කිරීම සමාගම් දෙක විසින්ම ඒකාබද්ධව සිදු කිරීම හා ඒ සඳහා හම්බන්තොට ගෑස් පර්යන්තය යොදා ගැනීම.
- රටට අවශ්‍ය එල්පී ගෑස් මිල දී ගැනීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු, ප්‍රවාහනය හා ගබඩා කිරීමේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලාෆ්ස් ගෑස් සමාගමේ නියෝජිතයින් ද ඇතුළත් අදාළ ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුම සහිත නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම.
- අනුකාරක සභාව විසින් නිර්දේශිත ක්‍රමවේදය ඉදිරි මාස 06 තුළ ක්‍රියාත්මක කර එහි ප්‍රගතිය මත යෝග්‍ය ඉදිරි පියවර ගැනීම.