තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මම කෝටි 850ක් ණයයි හෙලිකොප්ටර් ගන්න තරම් මෝඩ නෑ" - ඩඩ්ලි සිරිසේන

    “මම කෝටි 850ක් ණයයි හෙලිකොප්ටර් ගන්න තරම් මෝඩ නෑ” – ඩඩ්ලි සිරිසේන

    තම හෝටල් ජාලය ඉදිකිරීම වෙනුවෙන් රුපියල් කෝටි 850ක ණය ලබාගෙන තිබියදී, කෝවිඩ් වසංගතය හමුවේ තම ව්‍යාපාර බොහෝමක් මෙහෙයුම් කටයුතු වලින් පරිබාහිරව පවතින මේ මොහොතේ පෞද්ගලික භාවිතයට හෙලිකොප්ටරයක් ගැනීමට තරම් තමා අඥානයකු නොවන බව ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරා වන ඩඩ්ලි සිරිසේන මහතා මේ බව සිය නිල සමාජ ජාල ඔස්සේ පවසා ඇත්තේ, පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු විසින් සිය ගමන් බිමන් සඳහා හෙලිකොප්ටරයක් රුපියල් කෝටි 11කට මිලදී ගෙන ඇති බවට පළවූ පුවත්වලට ප්‍රතිචාර දක්වමිනි.

    ඩඩ්ලි සිරිසේන මහතා ඒ පිළිබඳ වැඩිදුරටත් මෙලෙස පවසා තිබේ.

    “විශේෂයෙන්ම මේ දිනවල පෞද්ගලික හෙලිකොප්ටරයක් මිලට ගත් පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයෙකු සම්බන්ධයෙන් සංසරණය වන පුවතක් නිසා මාගේ දුරකතනය අතිශයින් කාර්‍යබහුල වී ඇත. බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් මාගෙන් විමසමින්, අදාල හෙලිකොප්ටරය මාගේ දැයි තොරතුරු දැනගැනීමට උත්සුක වෙද්දී තවත් පිරිසක් එය මාගේ බව හැඟවීමට බොහෝ සෙයින් උනන්දු වී කටයුතු කරමින් ඇත.

    රටේ පවතිනා කෝවිඩ් වසංගතය හමුවේ මාගේ ව්‍යාපාර බොහෝමක් මේ වන විට පවතින්නේ මෙහෙයුම් කටයුතු වලින් පරිබාහිරවය. විශේෂයෙන්ම මේ වන විට අරලිය ජාලයට අයත් හෝටල් සියල්ලක්ම පාහේ වසා ඇති කාලවකවානුවක, අවදානම් රැසක් දරමින් මා විසින් ජාතියට නව ව්‍යාපාර හතරක් දායාද කළේ වගකිවයුතු දේශීය ව්‍යවසායකයෙකු නිසාය. විශේෂයෙන්ම ජාතික ආර්ථිකයට ශක්තියක් වෙමින්, රජයට සැළකිය යුතු මට්ටමේ බදු මුදල් ගෙවමින් මා විසින් සිදුකළේ රට තුළ සෘජු හා වක්‍ර රැකියා අවස්ථා විසිපන්දහසකට ආසන්න සංඛ්‍යාවක් උත්පාදනය කිරීම පමණය.

    එහෙයින් මෙවැනි කාලපරිච්ඡේදයක අවස්ථාවාදී වෙමින් මාගේ පරිහරණය තකා පෞද්ගලික හෙලිකොප්ටරයක් මිලදී ගැනීමට තරම් මා අඥාණයෙකු නොවන බව ඔබ හමුවේ වගකීමෙන් යුතුව ප්‍රකාශ කිරීමට කැමතිය.

    විශේෂයෙන්ම 90 දශකයේ මුලාරම්භයේ පටන් මා ව්‍යාපාර වලින් ලාභ ලෙස ඉපැයූ සෑම සතයක්ම ආයෝජනය කලේ මේ රට තුලය. බොහෝ ව්‍යාපාරිකයන් තම ඉහළ පරිසාධන මට්ටම් වලට ළඟා වූ පසු අන්තර්ජාතික මට්ටමේ ආයෝජන අවස්තා හඹා යාම සාමාන්‍ය දෙයක් වුවද මා එසේ නොකළේ දේශීය ව්‍යවසායකයෙකු සතු වියයුතු චින්තනයන් අගය කරමින්ය. එහෙයින්, මා විසින් රට තුළ සිදුකළ හැකි ආයෝජනයන් ලෝකයට ගෙනයනවා වෙනුවට විදෙස් ආයෝජන ලංකාවට ගෙන ඒම සඳහා මුල්තැන දී කටයුතු කළේය. විශේෂයෙන්ම, ලෝකයේ ඇති ඉහළම තාක්ෂණය සහිත හොඳම සහල් නිෂ්පාදනගාරය බිහිවූයේ එලෙසින්ය.

    රටේ දැවැන්ත ව්‍යාපාරිකයෙකු වුවද, බිලියන ගණනින් ව්‍යාපෘති නිම කළද, තවමත් මා නමින් ඇත්තේ ලක්ෂ 80ක ස්ථාවර තැන්පතුවක් පමණය. එයද මීට වසර ගණනාවකට පෙර මා විසින් මහජන බැංකුවෙන් ගත් ණයක් වෙනුවෙන් විවෘත කළ ධනයෝජන ගිණුමක එකතු වූ මුදල්ය. එය හැර අන් සෑම සතයක්ම මා ආයෝජනය කර ඇත්තේ රැකියා අවස්ථා දහස් ගණනින් උත්පාදනය වූ ඇති දේශීය ව්‍යාපෘති තුළය.

    විශේෂයෙන්ම මා විසින් රට තුළ ඉදිකර ඇති හෝටල් සඳහා පමණක් ලබාගත් සම්පුර්ණ ණය ප්‍රමාණය රුපියල් කෝටි 850 කට ආසන්නය. එසේ තිබියදී අනවශ්‍ය ලෙස හෙලිකොප්ටර් ආදිය මිලට ගනිමින් අතිශය සැපවත් ජීවිතයක් ගත කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් මා හට නොමැති බව කිවයුතුමය.

    විශේෂයෙන්ම මා මේ ව්‍යාපාර සියල්ලක්ම ගොඩනඟනු ලැබෙවේ කුඩාම තැනක සිටය. ලොරි ක්ලීනර් කෙනෙකු, ඉන්ධන පිරවුම්හළක පොම්පකරුවෙකු හා ගුවන් හමුදා සෙබලෙකු වශයෙන් ජීවිතයේ මූලාරම්භය පියවරෙන් පියවර සනිටුහන් කළ මා අද වන විට ගතකරන්නේ ඉතා සරල, එමෙන්ම සැහැල්ලු ජීවිතයක්ය. ඒ මාගේ හැටිය. ඩඩ්ලි සිරිසේන ගැන හොඳින් දන්නා සමීපතමයන් එයට සාක්ෂි දරනු ඇත.

    එහෙයින් මෙවැනි අසත්‍යය ප්‍රකාශ මත පදනම්ව මා වෙත වක්‍රාකාරයෙන් සිදුකරන මෙවැනි බරපතළ චෝදනා මවිසින් බැහැර කරන්නේ පිළිකුලෙන් යුතුවය.

    එහෙයින් වෙනදා මෙන් ඔබව දිරිමත් කරමින්, දියුණුව සඳහා වන දොරටු පෙන්වා දෙමින් ඉටු කළා වූ සමාජ වගකීම මොහොතකට පසෙකින් තබා මෙවැනි දුර්මතයක් වෙනුවෙන් කරුණු දැක්වීමට කාලය මිඩංගු කිරීම සම්බන්ධයෙන් මා කණගාටුව පළ කරන්නේ හදවතින්මය.

    ඩඩ්ලි සිරිසේන.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img