තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොළඹ පුරසබේ ලැයිස්තු මන්ත්‍රීධුරයට පොරයක්

    කොළඹ පුරසබේ ලැයිස්තු මන්ත්‍රීධුරයට පොරයක්

    පළාත් පාලන මැතිවරණයේදි කොළඹ මහ නගර සභාවට තරග කර කිසිදු කොට්ඨාශයක් ජයග්‍රාහණය කිරීමට නොහැකි වූ එහෙත් ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර හිමිව ඇති පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් කිහිපයක මන්ත්‍රීධූර සම්බන්ධයෙන් අභ්‍යන්තර ගැටුම් ඇතිවී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ සහ පාඨලි චම්පික රණවක මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ තුළද මෙම තත්ත්වය හටගෙන තිබේ.

    කොළඹ මහ නගර සභාවට අයත් මැතිවරණ කොට්ඨාශ 47ටම ජාතික නිදහස් පෙරමුණේ සහ එක්සත් ජනරජ පෙරමුණේ අපේක්ෂකයන් ඉදිරිපත්ව සිටියහ. ජාතික නිදහස් පෙරමුණ විසින් ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 2398ක් වන අතර එක්සත් ජනරජ පෙරමුණ විසින් ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව වන්නේ 2157කි.

    එක්සත් ජනරජ පෙරමුණේ අපේක්ෂකයන් කිහිප දෙනෙක්ම දිනමිණට පවසා සිටියේ ඡන්දයට පෙර නායකත්වය ප්‍රකාශකර තිබුණේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා අපේක්ෂකයන්ට පිළිවෙලින් ලැයිස්තු මන්ත්‍රීධූර ලැබෙන ආකාරයට ලබාදෙන බවය. එහෙත් ලැබි ඇත්තේ එක මන්ත්‍රීධූරයක් බැවින් ඊට මේ වන විට තරගයක් ඇතිවී තිබෙන බවද එම අපේක්ෂකයෝ සඳහන් කළහ.

    එක්සත් ජනරජ පෙරමුණේ අපේක්ෂකයන් අතරින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් මෙන්ම ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇත්තේ හුණුපිටිය කොට්ඨාශයේ අපේක්ෂකයාය. ඔහු ඡන්ද 274ක් ලබාගෙන ඇති අතර ප්‍රතිශතය සියයට 8.3කි. දෙවැනියට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන සිටින්නේ දෙමටගොඩ කොට්ඨාශයේ අපේක්ෂකයාය. දෙමටගොඩ තිදෙනෙකුගෙන් සමන්විත බහු ආසනයකි. එක්සත් ජනරජ පෙරමුණේ නගරාධිපතිධූර අපේක්ෂක ද මැතිවරණයට ඉදිරිපත්ව සිට ඇත්තේ දෙමටගොඩ කොට්ඨාශයෙනි. දෙමටගොඩ කොට්ඨාශයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 264ක් වන අතර ප්‍රතිශතය 2.7කි. ඊට පසු වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමිකරගෙන ඇත්තේ උතුරු බොරැල්ල කොට්ඨාශයේ අපේක්ෂකයින්ය. උතුරු බොරැල්ල කොට්ඨාශයද අපේක්ෂකයින් දෙදෙනෙකුගෙන් සමන්විත බහු ආසනයකි. මෙම කොට්ඨාශයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 201කි. එහි ප්‍රතිශතය 3.5කි. මොදර කොට්ඨාශයේ අපේක්ෂකයාද ඡන්ද 159ක් හිමිකරගෙන ඇති අතර ප්‍රතිශතය 1.1කි. ඡන්ද සියයකට වැඩියෙන් ලබාගෙන ඇති තවත් අපේක්ෂකයෙක් සිටින්නේ කෙසෙල්වත්ත කොට්ඨාශයේය. එම කොට්ඨාශයෙන් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 115කි. ප්‍රතිශතය සියයට 4.0කි. කොටුව කොට්ඨාශයේ අපේක්ෂකයා ඡන්ද 85ක් ලබාගෙන ඇති අතර ඔහු ලබාගෙන ඇති ප්‍රතිශතය සියයට 4.7කි.

    මේ වන විට පක්ෂය තුළ මන්ත්‍රී ආසනයට තරගයක් ඇතිව තිබෙන්නේ දෙමටගොඩින් ඉදිරිපත් වූ නගරාධිපති අපේක්ෂකයා සහ කෙසෙල්වත්තේ අපේක්ෂකයා අතරය. වැඩිම මනාප ගණනක් සහ වැඩිම ප්‍රතිශතයක් හිමිකරගෙන සිටින හුණුපිටිය කොට්ඨාශයේ අපේක්ෂකයා විසින් මෙම තරගයෙන් ඉවත්ව ඇතැයි පැවසෙන්නේ ලිඛිත ප්‍රකාශයක් කරමිනි. ඒ සම්බන්ධයෙන්ද ගැටළුවක් ඇති බවත් ඔහු එම ලිපිය පක්ෂයේ මහ ලේකම්වරයාට ඉදිරිපත් නොකර කෙසෙල්වත්තේ අපේක්ෂකයාට ලබාදී ඇති බවත් අපේක්ෂකයින් කිහිප දෙනෙක්ම සඳහන් කළේය. පක්ෂයේ අපේක්ෂකයින් අතර අදහසක් මේ වන විට ඉදිරිපත්ව ඇත්තේ නගරාධිපතිධූර අපේක්ෂකයාට මන්ත්‍රීධූරය ලබාදෙන ලෙසය. ඒ බව ඔවුන් පක්ෂ නායකයාටද පවසා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. එසේ නොවන්නේ නම් වැඩිම මනාප ප්‍රමාණයක් සහ ප්‍රතිශතයක් ලබාගෙන සිටින හුණුපිටිය කොට්ඨාශයේ අපේක්ෂකයාට මන්ත්‍රීධූරය ලබාදෙන ලෙස ඉල්ලීමක් ද ඔවුන් කර තිබේ.

    මේ අතර නගරාධිපතිධූර අපේක්ෂක සහ කෙසෙල්වත්තේ අපේක්ෂක අතර තුණුඩු දමා වසර දෙකින් දෙකට දෙදෙනාටම මන්ත්‍රීධූරය දැරීමේ අවස්ථාවක් සම්බන්ධයෙන්ද මේ වන විට යෝජනාවක් පක්ෂය අභ්‍යන්තරයෙන් ඉදිරිපත්ව ඇති බවට තොරතුරුද ඇත. ඒ පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් පක්ෂයෙන් කැඩී වෙන්වීම වැලැක්වීමේ අපේක්ෂාවෙන් බව සඳහන්ය.

    ජාතික නිදහස් පෙරමුණ කිසිදු ඡන්ද කොට්ඨාශයක් ජයග්‍රාහණය කර නොතිබුණි. ජාතික නිදහස් පෙරමුණේ නගරාධිපතිධූර අපේක්ෂිකාව වූයේ කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරියකි. ඇය ඉදිරිපත් වූයේ වනාතමුල්ල කොට්ඨාශයෙනි. ඇය ඡන්ද 326ක් ලබාගෙන තිබිණි. ඇය විසින් ලබාගත් ප්‍රතිශතය සියයට 3.6කි. ලැයිස්තුවෙන් ලද මන්ත්‍රීධූරය ඇයට ලැබෙනු ඇතැයි විශ්වාසයක් පැවතියත් එම පක්ෂයේ අලුත්මාවත ඡන්ද කොට්ඨාශයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා සියයට 9.00ක ප්‍රතිශතයක් ලබාගෙන ඡන්ද 502ක් ලබාගෙන ඇති බැවින් ඔහුට මන්ත්‍රීධූරය හිමිවිය යුතු බවට පක්ෂයේ පිරිසක් විසින් අරගලයක්ද පසුගිය දිනවල දියත් කරනු ලැබීය. එය වාග් ගැටුමක් බවටද දිග්ගැස්සී ඇති අතර කොළඹ මහා නගර සභාවේ වසර 04ක සේවා කාලය තුළ වසරකට එක් අයෙක් බැගින් සිවි දෙනෙක් වසර 04 තුළ පත්කිරීමටද මෙහිදී යෝජනා වී තිබේ. මත ගැටුම් සියල්ල අවසානයේදී වනාතමුල්ල කොට්ඨාශයේ සහ අලුත්මාවත කොට්ඨාශයේ අපේක්ෂකයින් දෙදෙනාට වසර දෙකින් දෙකට මන්ත්‍රීධූරය ලබාදිමට පක්ෂය එකඟවි ඇතැයි පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු සඳහන් කළේය.

    ලැයිස්තු මන්ත්‍රීධූර හිමිකරගත් පක්ෂ හා ස්වාධින කණ්ඩායම් කිහිපයකම මන්ත්‍රිධූර සම්බන්ධයෙන් මෙවැනි අර්බුද පැන නැගි ඇති බවද දේශපාලන තොරතුරු අනාවරණය කළේය.

    ACg8ocJ_gTp82gIDfNgCca27DWdKsMIkdTbhEHfF8RVofvH2JM_G7Q=s40-p-mo ReplyForward
    Add reaction
    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img