සියදිවි හානිකරගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි චරිත් දිල්ශාන් නැමැති 23 හැවිරිදි සිසුවාට සබරගමු සරසවියේදී නවක වදය ලබාදුන් බව කියන සිසුන් 15 දෙනෙකුගේ පමණ තොරතුරු හෙළිවී ඇත.
චරිත් දිල්ශාන් සිසුවාට නවක වදය දෙන අයුරු ඇසින් දුටු සිසුන් 20 දෙනෙක් මේ වන විට සමනලවැව පොලිසියට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.
එම ප්‍රකාශ වලින්ද චරිත් දිල්ශාන් සිසුවාට නවක වදය ලබාදුන් ඉහළ වසරවල සිසුන්ගේ තොරතුරු නම් ගම් සහිතව හෙළිවී ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
මේ තත්ත්වය මත ඊයේ (03) සිට ඉදිරි විමර්ශන වැඩ බලන පොලිස්පතිවරයාගේ නියෝගය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.