මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක මත්පැන් පානයකරමින් සිටි පිරිසක් වෙත යතුරු පැදි දෙකකින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් ඊයේ (03) රාත්‍රියේ එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් එක් පුද්ගලයෙක් මියගොස් අයෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ටී 56 ගිනි අවි දෙකක් සහ පිස්තෝලයකින් සන්නද්ධව පැමිණි මෙම කණ්ඩායම වෙඩි තබා ඇත්තේ ටී 56 අවියකින් සහ පිස්තෝලයකින් බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
වෙඩි වැදී මියගොස් ඇත්තේ මීටියාගොඩ මනම්පිට පදිංචිකරුවෙක් වන වඩු කාර්මිකයෙකි. 47 හැවිරිදි වියැති මෙම වඩු කාර්මිකයා අපරාධවලට සම්බන්ධ නැති සාමාන්‍ය ජීවිතයක් ගතකරමින් සිටි අයෙක් බව විමර්ශන වලින් අනාවරණය වී ඇතැයි ඇල්පිටිය කොට්ඨාශයභාර පොලිස් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතා සඳහන් කරයි.
තුවාල ලබා සිටින්නේ මීටියාගොඩ එරනවිල පදිංචි 51 හැවිරිදි වියැති අයෙකි. 2015 වසරේ සිදුවූ වෙඩි තැබීමක් සහ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා ඇති බව පොලිසිය සඳහන් කරයි. එම වෙඩිතැබීම හා ඝාතනය පුද්ගලික ආරවුලක් මත සිදුවූවක් මිස පාතාලයේ ගැටුමක් නොවන බවද පොලිසිය සඳහන් කරයි. එසේ තිබියදී ටී 56 ගිනි අවි දෙකක් සහ පිස්තෝලයක් අතැතිව යතුරු පැදි දෙකකින් සිව් දෙනෙක් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් සැගවුණු සිදුවීමක් තිබේදැයි සොයා විමර්ශන පැවැත්වෙන බව පොලිසිය සඳහන් කරයි.