කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි මත්කුඩු ලෝලියෙක් පොලිස් සිරමැදිරියේදී මිය යාමක් සම්බන්ධයෙන් වූ විමර්ශන වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (03) භාරදී තිබේ.
පොලිස් පහරදීමකින් මෙම මරණය සිදුවූ බවට පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් විසින් කරනු ලබන චෝදනාවක් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීම අරමුණුකර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම විමර්ශනය භාරදී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවූ කොස්ගොඩ හතරමංහන්දියේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා කොස්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 01 වෙනිදා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රැම් 6210ක් සමග අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කරයි. එ් සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් පවසන්නේ වෙනත් කථාවකි. එය මේ වන විට විමර්ශනයට ලක්වෙමින් ඇති බැවින් මෙහි කිසිදු සටහනක් ඒ ගැන තබන්නේ නැත.
පොලිසිය සඳහන් කරනු ලබන්නේ 02දා මෙම පුද්ගලයාව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යමින් සිටියදී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහල වෙත ඇතුලත් කළ බවය. ඔහු මියගොස් ඇතැයි පොලිසිය පවසන්නේ රෝහල් ගත කිරීමෙන් අනතුරුවය.
දැඩිව මත්කුඩු භාවිතයට මෙම පුද්ගලයා ඇබිබැවි වී සිටින්නෙක් බව පොලිසිය සඳහන් කරයි. මෙම පුද්ගලයාව පුනරුත්ථාපනය කරන ලෙස ඔහුගේ පියා විසින් පොලිසියෙන් ඉල්ලීමක්ද කර ඇත. ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව සඳහන්ය.