ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය භාරයේ ඇති තංගල්ල පැරණි බන්ධනාගාරයේ රදවා සිටින ප්‍රබල පාතාල අපරාධකරුවෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක් වන හරක් කටාට පරිහරණය කිරීමට ජංගම දුරකථනයක් හොර රහසේ ලබාදුන් බව කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වටගල පදංචිකරුවෙක් වන 37 හැවිරිදි වියේ පසුවන මෙම පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලා පසුගිය 02 දා රාත්‍රී කාලයේ අත්අඩංගුවට ගන්නා විට සේවයේ නිරතව සිට ඇත්තේ ඉලුප්පකච්චායි කඳවුරට අනුයුක්තවය.
විමර්ශන වලින් හෙළිවී ඇත්තේ මෙම නිලධාරියා හරක් කටාගේ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටියදී ජංගම දුරකථනය ලබාදී ඇති බවය.
මෙම දුරකථනයට සිම්කාඩ්පත් 04 විටෙන් විට යොදා භහරක් කටා විසින් දුරකථන ඇමතුම් රැසක් ලබාගෙන ඇති බව හෙළිවී ඇත.
අත්අඩංගුවටගත් පොලිස් කොස්තාපල්වරයා හරක් කටාට අමතරව තවත් පාතාලයේ අපරාධකරුවන් කිහිප දෙනෙකුගේ ආරක්ෂාවට මෙයට පෙර යොදවා තිබී ඇත. එම අපරාධකරුවන්ටත් ඔහු මේ ආකාරයට දුරකථන ලබාදී තිබේදැයි සැකයක්ද ඇතිව තිබේ.