මෙරට පිහිටි ස්විස්ටර්ලන්ත තානාපතිනිය පදිංචිව සිටින කොළඹ 03 තර්ස්ටන් පාරේ පිහිටි නිල නිවසේ සේප්පුවේ ආරක්ෂිතව බහා තිබූ රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා ස්වර්ණාභාරණ ඇතුළු දේපොල සොරාගැනීමක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇත.
තානාපති නිල නිවසේ ඉහළ මහලේ තිබූ සේප්පුවේ බහ තිබුණු දියමන්ති අල්ලන ලද රන් මුදුවක්, ටවර්මැලටින් ගලක් සහිත රන් මුදුවක්, රන් මංගල මුදුවක්, කුඩා කොල පැහැති ගල් අල්ලන ලද රන් මුදුවක්, රන් මාලයක්, තරු හැඩැති රුබි ගලක් අල්ලන ලද රන් පෙන්ඩන් එකක්, සුදු රත්‍රන් බේස්ලට් එකක්, නිල් මැණික් ගල් අල්ලන ලද කරාඹු ජෝඩුවක්, ඔමෙගා ලේඩිමැටික් වර්ගයේ ඔරලෝසුවක්, හා ඔමෙගා වර්ගයේ රන් ඔරලෝසුවක් මෙසේ සොරකම්කර ඇති බව ස්විස්ටර්ලන්ත තානාපතිනිය පොලිසියට පැමිණිලිකරමින් පෙරේදා සඳහන්කර තිබේ.
මෙම දේපොලවල වටිනාකම අමෙරිකානු ඩොලර් 15,000ක් පමණ වන බව ඇය පොලිසියට පවසා ඇත.
තානාපතිනිය පසුගිය 12 වෙනිදා ස්විස්ටර්ලන්තයට ගොස් නැවත පැමිණ ඇත්තේ 27 වෙනිදාය. සොරකම සිදුව ඇත්තේ මේ කාලය තුළ බව සැක කරයි.
මේ කාලය තුළ නිවසේ ඇගේ කාර්ය මණ්ඩලයේ 05 දෙනෙක් සේවයේ නිරතව ඇති බව සඳහන්ය. පොලිසිය ඒ අයගෙන්ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.