බංගලාදේශයේ ඩාකා නගරයේදී කප්පම්කරුවන් විසින් පැහැරගත් ප්‍රවීණ ව්‍යාපාරික ආනන්ද පතිරණ සහ ඔහුගේ බිරිඳ ප්‍රින්සි පතිරණ ඇතුළු ශ්‍රී ලාංකිකයන් තිදෙනා නිරුපද්‍රිතව මුදා ගැනීමෙන් පසු අද(25) මෙරටට බාර දීමට නියමිතව ඇත.
මෙම ශ්රී ලාංකිකයින් බංග්ලාදේශයට ගොස් ඇත්තේ පසුගිය අප්‍රේල් 22 වැනිදාය. ඒ බාගර්හැට් හි ශාහිදුල් ශෙයික් නම් ව්‍යාපාරිකයෙකුගේ ආරාධනයක් මතය. හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ මොවුන් පැහැරගෙන ගිය අතර ඔවුන්ගේ පවුල්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 20ක කප්පම් මුදලක් ඉල්ලා තිබුණි.
ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් එය වාර්තා කිරීමෙන් අනතුරුව ජනාධිපති අනුර දිසානායක මහතා බංග්ලාදේශ බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබිණි.
ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය, සහ විදේශ අමාත්‍යාංශයේ සුනිල් සිල්වා මහතා, බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධර්මපාල වීරක්කොඩි මහතා ඒ සඳහා ඒකාබද්ධව කටයුතු කළහ.
අප්‍රේල් 24 වැනිදා අළුයම 12.15ට පමණ බාගර්හැට් දිස්ත්‍රික්කයේ මොල්ලාට් උපසේලාවේ කොඩාලියා ප්‍රදේශයේදී මෙහෙයුම ආරම්භ කරන ලද අතර, සියලුම ශ්‍රී ලාංකිකයින් සුරක්ෂිතව මුදා ගැනීමට හැකි වී තිබේ. කාසි එම්දාද් හොසේන්, ශාහිදුල් ශෙයික්, ජොනි ශෙයික් සහ එස්.එම්. ශම්සුල් ආලාම් යන සැකකරුවන් හතර දෙනා ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් කප්පම් ඉල්ලා ඇමතුම් දී ඇත්තේ බංග්ලාදේශ දුරකථන අංකයකිනි.
දෙරට බලධාරීන්ගේ කඩිනම් සහ සහයෝගී ක්‍රියාමාර්ගවලින් මෙම ශ්රී ලාංකිකයින් මුදා ගෙන ඇත. මොවුන් අද මෙරටට බාර දීමට නියමිතව තෙබේ.