ජනාධිපතිවරණ සමයේදී පෝස්ටර් සහ කවුට් ඉවත්කිරීමට කම්කරුවන් යොදා ගත් බව ව්‍යාජ ගොනු සකස්කර රුපියල් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් අඹගස්දෝව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර රත්නායක සහ එවක අඹගස්දෝව පොලිස් ස්ථානයේ පාලන හා මැතිවරණ අංශයේ ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂිකා ඩී.ජයචිත්‍රා යන නිලධාරීන් දෙදෙනා බණ්ඩාරවෙල විශේෂ අපරාධ අංශය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගන්නා ලදි.
පසුගිය වසරේ සැප්තැම්බර් 21 වෙනිදා පවත්වන ලද ජනාධිපතිවරණය අදාලව පොලිස් ස්ථාන වෙත බදවාගත් තාවකාලික සුළු කම්කරුවන් වෙනුවෙන් ව්‍යාජ ලිපි ගොණු ඉදිරිපත්කර රජයේ මුදල් ලබාගනිමින් මෙම නිලධාරීන් දෙදෙනා වංචාවක් සිදුකර ඇති බවට ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද නිර්නාමික පෙත්සමකට අදාලව කළ විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.
විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ 2024 අගෝස්තු 15 දින සිට 2024 සැප්තැම්බර් 21 දක්වා කාලය තුළ නීති විරෝධි පෝස්ටර් කටවුට් ඉවත් කිරීමට අඹගස්දෝව පොලිස් ස්ථානයට බදවා ගන්නා ලද තාවකාලික කම්කරුවන් දෙදෙනෙක් වෙනුවෙන් ව්‍යාජ තොරතුරු ඇතුලත් වවුචර්පත් ඉදිරිපත් කර රජයේ මුදල් රුපියල් 19,1193.08ක මුදලක් වංචාකර ඇති බවය. ඒ අනුව එම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමටට කටයුතු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන විට උප පොලිස් පරීක්ෂකවරිය සේවයේ නිරතව සිට ඇත්තේ උඩපුස්සැල්ලාව පොලිස් ස්ථානයේය.
මෙම අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම නිලධාරීන් දෙදෙනා අපේක්ෂිත ඇප ලබාගෙන තිබී ඇත. ඒ අනුව මෙම නිලධාරීන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාා හැර ඇත.