සිගිති අවුරුදු උත්සවයකින් අනතුරුව රාත්‍රී කාලයේ පැවති සංගීත සංගීත ප්‍රසංගයක් අතර තුර පොලිස් නිලධාරියෙකුට පහරදී දැලි පිහියකින් කපා තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙක් ඇල්පිටිය පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (16) අත්අඩංගුවට ගෙන ඇත.
කොට්ඨාව අධිවේගී මාර්ග පොලිස් මුරපොලට අනුයුක්තව රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු මෙසේ පහරකෑමට ලක්ව තිබේ.
මෙම නිලධාරියා තුවාල ලබා ඇල්පිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.
මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය 15 වෙනිදා රාත්‍රී කාලයේදීය. මෙදින රාජකාරි විවේකය වාර්තාකර නිවසට පැමිණ සිටි නිලධාරියා සිය දරුවන් සමඟ සිඟිති අවුරුදු උත්සවයට මෙදින පෙරවරුවේදී සහභාගිවී ඇති බවද පොලිසිය සඳහන් කළේය.
ත්‍යාග ප්‍රධානෝත්සවය සහ සංගීත ප්‍රසංගයක් රාත්‍රී කාලයේ පවත්වා ඇත. එම සංගීත ප්‍රසංගය නැරඹිමට ගොස් සිටියදී පොලිස් නිලධාරියා සමඟ මත්පැන් පානයකරමින් සිටි සිව් දෙනෙක් ගැටුමක් ඇතිකරගෙන නිලධාරියාට පහරදී දැලිපිහියෙන් කපා ඇති බව පොලිසිය සඳහන් කරයි.