ජූලි මාසයේ දී අලුතින් පවුල් ලක්ෂ හතරකට අස්වැසුම ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
“ජය නියතයි ගම අපිටයි” ජන රැලි මාලාවේ තවත් ජන රැලියකට අද (17) මන්නාරමේදී එක් වෙමින් හෙතම මේ බව කියා සිටියේය.
මන්නාරම සහ රාමේශ්වරම් අතර බෝට්ටු සේවාව නැවත ආරම්භ කිරීමට ඉන්දියානු රජය සමග සාකච්ඡා කරමින් තිබෙන බවත්, සුළං බලයෙන් විදුලිය උත්පාදනයට මන්නාරම සතු විභවතාව ප්‍රයෝජනයට ගැනීම වෙනුවෙන් ජනතා අදහස්ද විමසමින් පාරිසරික හානිය අවම වන පරිදි කටයුතු කිරීමට ආණ්ඩුව සූදානම් බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජන රැලිය ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය
පසුගිය මහ මැතිවරණයේදී උතුර, දකුණ, නැගෙනහිර දෙමළ, මුස්ලිම්, සිංහල සියලුදෙනා තේරාගත්තේ ජාතික ජනබලවේගය ආණ්ඩුවයි. එම මැතිවරණයේදි අපි සියලුදෙනා එක් වුණා. ඒ නිසා නැවත කිසිදිනක අපි බෙදෙන්නේ නැතිව දේශපාලනය කරමු.
තවදුරටත් අපේ රට තුළ ජාතිවාදයට ඉඩ දෙන්නේ නැතිව ජාතික සමගිය ආරක්ෂා කර ගැනීම සඳහා අපි අලුත් ආණ්ඩුවක් හදලා තිබෙනවා. මෙය තමයි සමගියේ ආණ්ඩුව. වත්මන් ආණ්ඩුව සිංහල, දෙමළ මුස්ලිම් සියලු දෙනාට සහෝදරත්වයෙන් සලකන ආණ්ඩුවක්. ඒ වගේම සියලු දෙනාගේ අයිතිවාසිකම් පිළිගන්න ආණ්ඩුවක්. මීට පෙර මෙවන් ආණ්ඩු ගොඩනැගී තිබුණේ නැහැ. එදා පැවතියේ ජාතිවාදී ආණ්ඩු. දැන් ජාතික සමගියේ ආණ්ඩුවක් හැදිලා තිබෙනවා.
සිංහල, දෙමළ, මුස්ලිම් වේවා, උතුරේ, දකුණේ, නැගෙනහිර වේවා හැම තැනම ජීවත්වන්නේ ශ්‍රී ලාංකේය ජනතාව පමණක් බව අප සිහිපත් කරන්න කැමැතියි.
අපි දන්නවා මේ පේසාලේ ප්‍රදේශයේ මත්ස්‍ය සම්පත නෙළා ගන්නේ කවුද කියලා. නීති විරෝධි මසුන් ඇල්ලීමේ බෝට්ටු හරහා විශාල විනාශයක් අපේ මුහුදට සිදු කරමින් තිබෙනවා. පසුගියදා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සමග අප ඒ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අපේ මුහුද සහ අපේ මසුන් අපේ ජනතාවට අයිතියි. ඒ නිසා මෙම ප්‍රශ්නය විසදා ගැනීම සඳහා අපි උත්සාහ කරනවා. ඒ වගේම මුහුදේ සිදුවන සියලු නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කරන ලෙස අපි නාවික හමුදාවට උපදෙස් ලබා දී තිබෙනවා.
ඔබ දන්නවා මේ මන්නාරම සහ පුත්තලම අතර මාර්ගය දීර්ඝ කාලයක් තිස්සේ වසා දමා තිබෙනවා. මෙම මාර්ගය විවෘත කිරීමෙන් පුත්තලම දක්වා යන දුර කි.මි 90ක් පමණ අඩු වෙනවා. නව ආකාරයෙන් මන්නාරම සහ පුත්තලම යා කිරීමට අපි බලා පොරොත්තු වෙනවා.
අවුරුදු පහ, හයකට පසු විශාලම ඩොලර් සංචිතය අද අපේ රටේ තිබෙනවා. මාස හයක් තිස්සේ රුපියල සෙළවෙන්නේ නැතිව තිබෙනවා. අපි තෙල් මිල අඩු කළා, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා, අස්වැසුම දීමනාව වැඩි කළා පමණක් නොවෙයි ජූලි මාසයේ අලුතින් පවුල් ලක්ෂ හතරකට අස්වැසුම ලබා දීමට කටයුතු කරනවා.
රාජ්‍ය සේවයේ දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිඟයක් තිබෙනවා. ඒ වගේම පොලිසියේ දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිඟයක් තිබෙනවා. ඒ නිසා දෙමළ භාෂාව කතා කරන අය පොලීසියට අවශ්‍යයි. අපි මේ වසරේ අලුතින් පොලිසියට 2,000ක් බඳවා ගන්නවා. දෙමළ භාෂාව කතා කරන ඔබගේ දරුවන්ද පොලිස් සේවයට බඳවන්න. එය ඉතා ගෞරවාන්විත රැකියාවක්. අපේ රටේ නීතිය හා සාමය රැකීමට තිබෙන රැකියාවයි. අපි ඔවුන්ට හොද වැටුප් තලයකුත් ලබා දෙනවා. ඒ වගේම තව පහසුකම් අපි ලබා දෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයට දෙමළ භාෂාවෙන් කථා කරන අය එක් විය යුතුයි. අපි එකතුවෙලා මේ රට හදන්න ඕන.
මහා ආණ්ඩුව, ජනාධිපතිවරයා ලෙස මම සහ අපේ කැබිනට් මණ්ඩලය සහ මන්ත්‍රීවරු කිසි කෙනෙක් මහජනයාගේ රුපියලක්වත් හොරකම් කරන්නේ නැහැ.
රුපියලක්වත් නාස්ති කරන්නේ නැහැ. ලංකාවේ පළමු වතාවට හොරකම් කරන්නේ නැති ආණ්ඩුවක් හදලා තිබෙනවා.
අද අපි රට හදන්නයි සැලසුම් කරන්නේ. අපි මේ ආණ්ඩුව ආරක්ෂා කර ගනිමින් ශක්තිමත් කළ යුතුයි. අපි හොරකම් කරන්නේ නැහැ වගේම හොරකම් කරපු අයට සහතික වශයෙන්ම දඩුවම් ලබා දෙනවා.
මිනිස් ඝාතනය, පාස්කු ප්‍රහාරය මේ සියල්ල පිළිබඳ අපි සොයනවා. අපේ රටේ ජනතාව නීතියට අනුගත වුණත් පාලකයන් නීතියට ඉහළින් කටයුතු කරමින් නීතිය පාගා දැමුවා. එවන් රටකට ඉදිරියට යන්න බැහැ. අද දියුණු වූ සෑම රටකම නීතිය කාටත් සමානයි. අපි ඒ කටයුත්ත සිදු කරනවා යැයි හෙතම කියා සිටියේය.