මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රබල පාතාලයේ අපරාධකරුවෙක් වන පූකුඩිකන්නාගේ සහෝදරයා ඉන්දියාවේ සිට ඩුබායි බලා යාමට සූදානම් වූ අවස්ථාවේදී චෙන්නායි ගුවන්තොටුපොලේදී ඉන්දියානු ආරක්ෂක අංශ විසින් අල්ලා බුද්ධි මෙහෙයුමකින් අනතුරුව මෙරටට එවා තිබේ.
දින කිහිපයක් එරට රදවා ගෙන සිටීමෙන් අනතුරුව ඔහුව ගුවන් මගින් මෙරටට එවනු ලබන්නේ අද (13) අලුයම් කාලයේදීය.
ගුවන්තොටුපොලේදී මෙම සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමටද කටයුතු යොදා තිබුණි.
පූකුඩිකන්නාගේ සහෝදරයාට මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් නඩු රැසක් අධිකරණයේ ඇත. එම නඩු සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහිව වරෙන්තුද නිකුත්කර තිබිණි.
පාතාලයේ ගැටුම් හේතුවෙන් පූකුඩිකන්නා මෙරටින් ඉන්දියාවට පලායාමෙන් ඔහුගේ සහෝදරයා වන මෙම සැකකරු ගුවන් මගින් ඉන්දියාවට ගොස් සහෝදරයාගේ රැකවරණය මත සිට ඇත.
2015 වසරේදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් කළ මෙහෙයුමකදී කිඹුලා ඇල ගුණා ඇතුළු මෙරට පාතාලයේ පිරිසක් අත්අඩංගුවට ගන්නා විට පූකුඩිකන්නාද ඒ අතර සිටියේය. එම අත්අඩංගුවට ගැනීමත් සමඟ බියටපත්වූ පූකුඩිකන්නාගේ සහෝදරයා බෝට්ටුවක නැගී ඉන්දියාවේ සිට මෙරටට පැමිණ සැගවී කෙටි කාලයක් රැදී සිට ඇත.අනතුරුව ඔහු ව්‍යාජ නමකින් විදෙස්ගමන් බලපත්‍රයක් සකස්කර ගෙන ගුවන් මගින් ඉන්දියාවට ගොස් ඇත.
පකිස්තානය සමඟ මත්කුඩු ජාවාරමේ නිරතව සිටින ජාවාරම්කරුවන් හේතුවෙන් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට එල්ලවී ඇති තර්ජන හේතුවෙන් ඉන්දියානු බුද්ධි අංශ මේ වන විට සිය බුද්ධි මෙහෙයුම් දැඩිකර තිබේ.
ඉන්දියාවට පළාගොස් සිටින ශ්‍රී ලාංකීය අපරාධකරුවන් රැසක් පසුගිය කාලයේදී අත්අඩංගුවට ගැනෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. එසේ අත්අඩංගුවටගන්නා ශ්‍රී ලංකීය සැකකරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කාර්යාංශය සමඟ ඉන්දීය බුද්ධි අංශයට සම්බන්ධ මෙරට නියෝජිතයෙක් සම්බන්ධවෙමින් මෙරටට එවීමට කටයුතු කරන බව සඳහන්ය.
පූකුඩිකන්නාගේ සහෝදරයාද එම බුද්ධි මෙහෙයුමට හසුවී අත්තේ පසුගිය සතියේදීය. බුද්ධි අංශ ඔහුව නිරීක්ෂණයකරමින් සිටියදී ඩුබායි වෙත යාමට උත්සාහ දරා ඇත. එහිදී බුද්ධි අංශ විසින් ඔහුව කොටුකර මෙරටට එවීමට පියවර ගෙන තිබේ.